මහේෂ් කියන සීමා ඉර කොහොමද ලකුණු කරන්නේ?
(කේ. සංජීව)
තරිඳු අත්අඩංගුවට ගැනීම ගැන සිත් බැඳගන්න ලියවිල්ලක් මහේෂ් හපුගොඩ ලියලා තිබුණා. මම මහේෂ් ලියන දේවල් ආසාවෙන් කියවන කෙනෙක්. ඒත් මහේෂ්ගේ මේ විග්‍රහය කියෙව්වාම මට මෙහෙම ලියන්න හිතුනා. ඒකට එක හේතුවක් මම ජර්නර්ලිස්ට් කෙනෙක් විදිහට වැඩ කිරීම.
ගෝඨාභය රාජපක්ෂ ගේ අණදීම උඩ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ එවක රාවය ප්‍රධාන සංස්කාරක වික්ටර් අයිවන් ලසන්ත ගැන ලියපු ලියවිල්ල මට මේක කියවපු ගමන් මතක් වුණා. අතුල අයියගේ ඒ ලියවිල්ලම වෙනත් වචනාවලියක් භාවිතා කරලා මහේෂ් මේක ලියලා වගේ.
මගේ මූලික ප්‍රශ්නය මේ මහේෂ් කියන සීමා ඉර කොහොමද ලකුණු කරගන්නේ කියන එක. ජනමාධ්‍යවේදියෙක් නම් ස්වැන් වාරණය කියලා කියන්නේ ඒකටද? ලසන්තගේ පත්තරේ බැලුවොත් පේනවා ලසන්තගේ ජර්නලිසම් වල පදනමම තිබුණේ තොරතුරු උඩ. ලසන්තට දේශපාලන අභිලාෂයන් තිබුණා. ලසන්ත යම් යම් පක්ෂ සංවිධාන සමග වැඩ කළා හැබැයි ලසන්ත හිතලු ලිව්වේ නෑ. වැරදුන අවස්ථාත් තිබුණා නැත්තේ නෑ. වික්ටර් අයිවන්ටත් එහෙම වැරදුන අවස්ථා තිබුණා. ලසන්තගේ සීමා ඉර ගැන ලියන වික්ටර් අයිවන් චෞර රැජින වගේ ලිපි පෙළක් කොහොම ලීවද? ඒ තොරතුරු මූලාශ්‍රගත තොරතුරු ද? මගේ අදහස කිසිඳු මූලාශ්‍රයක් නැති හිතලුත් ඒ ලිපි පෙළ අස්සේ තිබුණා කියන එක. ඇයි එහෙම තත්ත්වයක් උඩ චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වගේ වික්ටර් අයිවන්ට විරුද්ධව හැසිරුණේ නැත්තේ.
ඊළඟ කාරණය Marie colvin වගේ ජර්නර්ලිස්ට් කෙනෙක්ගේ චර්‍යාවන් ගැන කොහොමද අපි ඔය තර්කනයේ ඉදලා කල්පනා කරන්නේ? 2012 පෙබරවාරි 22 වයස 56 වෙනකොට සිරියානු යුද්ධය අස්සේ Marie ඝාතනයට ලක්වෙනවා. එතකන් ඇය ගෙවපු මාධ්‍ය ජීවිතය මාධ්‍ය පිළිබඳ අනුරාගයකින් මෙහෙයවපු එකක් කියලයි මටනම් හිතෙන්නේ. ඇය මරණය බෑග් එකක දාගෙන තමයි යුද්ධ වාර්තා කරන්න ගියේ. ඒවා අස්සේ යම් මානුෂීය මෙහෙයුම්වලට පවා දායක වුණේ. ඇයත් මේ කියන විදිහට හිතුවනම් කොහොමද?
ඊළඟට තුර්කියේ සෞදි තානාපති කාර්‍යාලය අස්සේ අති අමානුෂික විදිහට ඝාතනය කරපු jamal khashoggi ගැන මේ තර්කනයෙන් බැලුවොත් මොකද්ද අපිට ලැබෙන උත්තරය.
ඔය මහේෂ්ගේ තර්කයෙන්ම ඝාතනයට ලක්වුණ රිචඩ් දි සොයිසා ගැන කල්පනා කළොත් මොකද්ද හිතෙන්නේ.
අපිට දේවල් මේ විදිහටත් රෝමාන්තීකරණය කරන්න පුලුවන් ඒත් ඒවා සත්‍යට කිට්ටු වෙන එකක් නෑ.