ආර්ථික නිදහස දිනාගැනීම සදහා වූ සටන්කාමීන් (EFF) අප්‍රිකාව හොල්ලයි
දකුණු අප්‍රිකානු ඉතිහාසයේ වාර්තාවක් තබමින් එක දිනක ලක්ෂයකට අධික සාමාජිකත්වයක් එකම ගෘහස්ථ ක්‍රීඩාංගණයකට රැස් කරමින් එරට තුන්වන දේශපාලන බලවේගය ලෙස සැලකෙන, Julius Malema විසින් නායකත්වය දෙනු ලබන EFF ව්‍යාපාරය තම පක්ෂ සම්මේලනය Johannesburg නුවරදී පවත්වා ඇත. නිදහස, ප්රජාතන්ත්රවාදය, ඉඩම් ජනසතු කිරීම, සැමටම නොමිලේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය, පැනා-අප්රිකානුවාදය හා අධිරාජ්‍යවාදයට විරෝධය යන තේමා ඔස්සේ මෙම සමුළුව පවත්වා ඇති අතර සිය පක්ෂයට පිහිටුවා වසර දහයක් සපිරුනු දිනය වූ ජූලි 29 වැනිදා තම සාමාජිකයින් ලක්ෂයක සහභාගිත්වයෙන් මෙම සමුළුව පවත්වා ඇත.
මෙම සමුළුවේදී තම පාක්ෂිකයින් ඇමතූ Julius Malema මෙසේ පවසා සිටියේය.
“අපි අපේ නිදහස වෙනුවෙන් දීර්ඝ කාලයක සිට සටන් කළත් අදත් අපේ ජනතාව අන්ත අසරණකමින් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳිනවා. නමුත් අපේ පක්ෂය (EFF, ආර්ථික නිදහස දිනා ගැනීම සඳහා වූ සටන්කාමින්) බිහිකර වසර 10ක් පිරෙන අද දිනයේ ජනතාවට අපේක්ෂාවේ දැල්ලක් ඇතිවී තිබෙනවා. නිවාස, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය, ඉඩම් අයිතිය, ආර්ථික විමුක්තිය ඇතුළු සියළු මානව අයිතිවාසිකම් දිනා ගැනීමට අපට තවත් දීර්ඝ ගමනක් යා යුතුව තිබෙනවා. 2024 දී මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවේ වසරයි. 2024ට නියමිත මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නොනවතින අරගලයක් සිදු කිරීමට අප අධිෂ්ඨාන කර ගත යුතුයි” යයි පවසා සිටියේ පැමිණි සිටි තම පාක්ෂිකයින්ගේ නොනවතින අත්පොලසන් නාදයේ මධ්‍යයේ වේ.
ජුජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 42 හැවිරිදි Julius Malema වසර 27ක් පුරා දකුණු අප්‍රිකානු වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව සටන් වැදි නෙල්සන් මැන්ඩෙලාගේ පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) තරුණ ලීගයේ හිටපු නායකයා වේ. 2012 අගෝස්තු 16 වැනිදා දකුණු අප්‍රිකාවේ මරිකානා ග්‍රාමයේ මිනිරන් පතලක සිදුවූ වැඩ වර්ජනයකට පොලීසිය වෙඩි තැබීම නිසා කම්කරුවන් 34ක් මිය යාමෙන් පසු Julius Malema පාලක අප්‍රිකානු කොංග්රස් පක්ෂයෙන් ඉල්ලා අස්වී නව EFF පක්ෂය පිහිටුවා ගන්නා ලදී.
නව පක්ෂය මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් ලෙස සැලකෙන අතර දුෂණයට, පුද්ගලිකරණයට, යටත් විජිත කරණයට, හා නව ලිබරල්වාදයට එරෙහිව සටන් කරනු ලබයි. දකුණු අප්‍රිකාවේ තවමත් විසඳි නැති ඉඩම් ප්රශ්නය විසඳීම සඳහා ඉඩම් හා මිනිරන් පතල් ජනසතු කිරීම පක්ෂයේ අපේක්ෂාවයි. EFF පක්ෂය 2019 පාර්ලිමේන්තු මැතිවරණයෙන් 10.79%ක ප්‍රතිශතයක් ලබා ගත් අතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 44ක් නියෝජනය කරනු ලබයි.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසාන වී වසර 27ක් ගෙවී ඇතත් අදටත් එරටේ ඉඩම් අයිතියෙන් 73%ක් ඇත්තේ සුදු ජාතිකයන් අතය. ඒ අතර මෙම අසමානත්වය අවසාන කිරීමට කියා බලයට පැමිණි අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) නෙල්සන් මැන්ඩෙලාගේ සිට බලයට පත් වූ සියළුම කළු නායකයින් වර්ණභේදවාදී පාලනයේ අයුක්ති සහගත සංකේතයක් ලෙස සැලකුණ මෙම ඉඩම් ප්රශ්නය විසඳීමට කිසිදු උත්සහයක් නොගත්හ. ඒ වෙනුවට සිදුවුයේ එම නායකයින්ද පවතින ක්රමයේ දුෂකයින් හා ආරක්ෂකයින් බවට පත්වීම පමණි. පසුගිය 2021 වසරේ ජුලි 9 වැනිදා හිටපු ජනාධිපති (ANC) Jacob Zumaද අල්ලස් ගැනීමක් හේතුවෙන් සිර අඩස්සියට පත් වීමට සිදු වී තිබිණි.
2018 සිටම දකුණු අප්‍රිකාව දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දුන් අතර 2021 දී ආර්ථික වර්ධනය 4.9 %ක් හා 2022දී 2%ක් ලෙස වාර්තා වේ. කොරෝනා වසංගතය හේතුවෙන් රටේ මුලික ආර්ථික කේෂ්ත්‍ර 10ක් වන කාර්මික, මිනිරන්, කෘෂි ඇතුළු කේෂ්ත්‍ර 9ක් කඩා වැටීමෙන් බරපතළ ආර්ථික අර්බුදයකට අද වැටී ඇත. අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදනයෙන් 13%PIB ලෙස සඳහන් වන අතර ණය 80%GDP ක් ලෙස පෙන්වන අතර වසරක් තුලදී පමණක් එය (2020-2021) 20%කින් ඉහළ ගොස් ඇත. රැකියා විරහිතභාවය 32.6% ක් ලෙස දැක්වේ. විශේෂයෙන්ම 10% ක සුදු ජනතාවට සාපේක්ෂව කළු ජනතාවගෙන් 80% ක් ජනතාව අන්ත දුප්පත් ජිවන රටාවක් තුල අසීරු කොන්දේසි යටතේ ජීවත්වේ.
විශේෂයෙන්ම රටේ පවතින බරපතළම ප්‍රශ්ණයක් වන ඉඩම් අර්බුදය තවදුරටත් නොවිසඳීම මෙම තත්වය තවත් උග්‍ර කර ඇති බව යුරෝපීය ලිබරල් මාධ්‍ය පවා පෙන්වා දේ. මෙම මුලික ඉඩම් අර්බුදය විසඳීම ඉලක්ක කරමින් දකුණු අප්‍රිකාවේ වර්තමාන ජනාධිපති Cyril Ramaphosa විසින් 2018 දී පාර්ලිමේන්තු කොමිසමක් පත්කරන ලද්දේ වර්ණභේදවාදී සමයේ සිට පැවතෙන රටේ ව්‍යවස්ථාවේ 25වැනි වගන්තිය වෙනස් කර සියළු ඉඩම් කිසිදු වන්දියක් ලබානොදී ජනසතු කිරීමට අවශ්‍ය නීතිමය බාධක ඉවත් කර ගැනීමටයි. එහෙත් සුළුතර සුදු ජාතිකයන්ගේ විරෝධය හමුවේ එම සංශෝධනය මේ වනවිට 2025 දක්වා කල් දමා ඇත.
මෙහි ප්‍රථිපලයක් ලෙස අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බහුතර කළු ජනතාව රජයට එරෙහිව වැඩවර්ජන, පෙළපාලි වලට අමතරව කැරලි ගසන තත්වයයන්ටද පසුගිය කාලයේ පත් විනි. විශේෂයෙන්ම 2021 ජුලි මාසයේ පාරවල් අවහිර කරමින්, වෙළඳ සැල්, බැංකු හා රක්ෂණ ආයතන ඉලක්ක කරමින් විරෝධතාකරුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පොලිස් වෙඩි පහරින් හා ජනතාව අතර ඇතිවූ තෙරපීම් හේතුවෙන් පුද්ගලයින් 72ක් මියගොස් 1234ක් අත්අඩංගුවට පත් විණි.
මෙම ඉඩම් ප්‍රශ්න අර්බුදය වැනි දැවෙන ප්‍රශ්න විසඳීමට අප්‍රිකානු කොංග්රස් පාලනය අපොහොසත් වීම තුල දකුණු අප්‍රිකාවේ බහුතර කළු ජනතාව දිනෙන් දින තරුණ Julius Malemaගේ නව පක්ෂය වටා ඒකරාශී වෙමින් සිටින බව පැවසේ. Julius Malema විසින් තම දේශනයේදී මෙම අගෝස්තු මස 22-24 දිනවල දකුණු අප්‍රිකානු පාලක පක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත BRICS සමුළුවට රුසියානු ජනාධිපතිවරයා නොපැමිණීම ගැන ද සඳහන් කළේය:
“අපට ජනාධිපති පුටින්ට දැනුම් දීමට අවශ්‍ය වන්නේ ඔහුගේ පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ දකුණු අප්‍රිකානුවන් වන අප නොවන බවයි. එයට එරෙහිව සිටින එකම දකුණු අප්‍රිකානුවා වනුයේ බියගුල්ලෙකු හා අධිරාජ්‍යවාදී ගැත්තෙකු වන ජනාධිපති Cyril Ramaphosa පමණයි” යයි පවසා සිටීමත් සමග පැමිණි සිටි සමුළු නියෝජිතයින් “පුටින් !අපි පුටින්ට! පුටින් අපිට! යනුවෙන් සටන් පාඨ කියූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.
මේවන විට ජාත්‍යන්තර යුද අධිකරණය රුසියානු ජනාධිපතිවරයාට යුද අපරාධ චෝදනා නගමින් වරෙන්තු නිකුත් කර ඇත. දකුණු අප්‍රිකාව යුද අපරාධ සම්බන්ධයෙන් වූ රෝම සම්මුතියට අත්සන් තැබූ රටක් ලෙස පුටීන්ගේ සංචාරයේදී ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළකි සිටිය නොහැක. කිසියම් ආකාරයකින් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් එය තම රටට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස සලකා ක්‍රියා කරන බව රුසියානු විදේශ ඇමතිවරයා දකුණු අප්‍රිකාවට පසුගිය දා අනතුරු හඟවනු ලැබුවේය.
මේ සම්බන්ධයෙන් EFF පක්ෂ නායක Julius Malema තම දේශනයේදී අවධාරණය කරනු ලැබුවේ රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටීන් සහභාගී නොවනවා නම් අගෝස්තු මස අවසානයේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාව සංවිධානය කරනු ලබන BRICS සමුළුව වර්ජනය කරන ලෙස චීන, ඉන්දියා හා බ්‍රසීල රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. තම කථාවේ අවසානයේදී මේ වන විට සමස්ථ අප්‍රිකානු මහද්වීපය තුල හා ලෝකය තුල ගොඩ නැගෙන නව ජාත්‍යන්තර අධිරාජ්‍ය විරෝධී කඳවුරට නායකත්වය දෙන ලෙස තමන් ක්රේම්ලීන් පාලනයෙන් ඉතා දැඩිව ඉල්ලා සිටින බව කියා සිටියේ සමුළුවේ සාමාජිකයින්ගේ ඔල්වරසන් හා විප්ලවවාදී සටන් පාඨ මධ්‍යයේය.
@Lanka Truth