Latestදේශීය

ශවේන්ද්‍ර පසුපස CID ය හඹායයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

එම දෙපාර්තමේන්තුව පරීක්ෂණ දියත් කර ඇත්තේ නීතිපති විසින් ලබාදුන් නියෝගයකට අනුවය. නීතිපති එම නියෝගය ලබා දී තිබෙන්නේ පලවාහරිනලද ජනාධිපති ගේටාබය රාජපක්ෂ විසින් ත්‍රිපුද්ගල හමුදා නායකයින්ගෙන් සමන්විතව පත් කර තිබූ විමර්ශන කමිටුවක නිර්දේශ අනුවය. 2022 මාර්තු මස මුල සිට මැයි 09 දින රාත්‍රිය දක්වා කාලය තුළ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ගෝටාබය රාජපක්ෂ විසින් අදාල ත්‍රිපුද්ගල කමිටුව පිහිටුවනු ලැබීය.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර තිබුණේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග කිසියම් පසමිතුරුතාවයක් ඇතිව සිටි බවට ප්‍රකට හිටපු ත්‍රිවිධ හමුදා නායකයින්ය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක සහ හිටපු යුධ හමුදාපති දයා රත්නායක යන තිදෙනාය. ඔවුන් නිර්දේශ අනුව ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෘජුවම වැරදිකරු බවට නම් කර තිබූ බව අනාවරණය වී තිබිණි.

මෙම පසුබිම තුළ පසුගිය 27 වෙනිදා නිකුත්කළ දේශය පුවත්පත් “BIG STORY” යන විශේෂ නම් කිරීමෙන් යුතුව ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස මේ පිළිබඳ කරුණු වාර්තා කර තිබුණේය. එහි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යනුවෙන් නම් නොකර “ජාතික ආරක්ෂක ලොක්කකු පසු පස CID” යන සිරස්තලය යොදා තිබිණි. අදාල ප්‍රවෘත්තියේ “ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරණ දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු” සම්බන්ධයෙන් CID පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා කර තිබිණි.

මේ වනවිට තහවුරු වී තිබෙන්නේ එම ප්‍රවෘත්තියේ සඳහන් ප්‍රධානියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *