ආයේ ආයෙත් මුණගැසෙන රහස්
(මහේෂ් හපුගොඩ)
හෙට චැනල් 4 නාලිකාව ලංකාවේ පාස්කු ප්රහාරයේ ඇතැම් තීරණාමක තොරතුරු ප්රමාණයක් හෙළිකරන්න යනවා කිව්වම මට හිතුනේ එකම එක දෙයයි. ඒ තමයි මම කාලෙකට කළින් බලපු හැබැයි ඉතාම සංවේදී අවස්ථාවල නැවත නැවත බලන ස්පිල්බර්ග්ගේ Munich (2005) චිත්රපටයේ එන එක අමරණීය කියමනක් ගැන.
ඒකෙ එක තැනක කියනවා ”අපිට ජීවත් වෙන්න සිද්දවෙලා තියෙන්නේ රහස් එකෙනෙකින් වෙන්කරලා කරලා තියන ලෝකෙක උනත් අපි කවදාහරි මියැදෙන්නේ ඒ රහස් එකිනෙක මුණගැසෙන ලෝකෙක” කියල.
සමහර විට චැනල් ෆෝ හරහා අපෙන් මෙච්චර කල් සඟවා තිබ්බ, වියෝ කරලා තිබ්බ ඇත්තක් අපිට හම්බ වෙන්න පුළුවන්. සමහර විට ඒ දේවල් අපි දැනටමත් දන්නා දේවල් තහවුරුවීමක් වෙන්නත් පුළුවන්.
ලේ ගංගා ගලාන ගිහිල්ල, මිණී කඳු ගොඩ ගැහුණ අපේ වගේ රටක බලය සඳහා මිණීමරන්න පුළුවන් ඒත් එහෙම කරලා බුදුවරු වගේ ඉන්න පුළුවන් දේශපාලඥයෝ නිරාවරණය වෙනවා නම් අර මැරුණු මිනිස්සුන්ගේ තවමත් අඬන ඥාතීන්ට යම් අස්වැසිල්ලක් ඒකෙන් ගේන්න පුළුවන් වෙයි.
”රට ජාතිය බේරා ගන්නවා” කියල, ”නූතන දියසෙන්” කියල, ”ජාතියේ ගැලවුම්කරුවා” කියල බලයට එන එක කොච්චර අඳුරු අගාධයකින් මතුවෙන කෘතීම දෙයක්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි.
තමන්ගේ ඇත්ත යක්ෂ වෙස්මූණ වසාගෙන බලය ඉස්සරහා බලයට ඉව අල්ලන මිනිස්සු කොච්චර අසංවේදී වෘකයින්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි.
පියවරුන් යනු කවුරුද, ඔවුන් කොච්චර දරුවන් ගැන අසංවේදීද කියල තේරුම් අරන් ආයේ කවදාවත් ඒ වලේ නොවැටී ඉන්න ජනතාවක් බිහිකර ගත්තොත් ඇත්තටම අර පාස්කු බෝම්බ වලින් මියගිය මිනිස්සුන්ට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි.
එකිනෙකාගෙන් වෙන්කරලා තිබ්බ රහස් ඇත්තටම ආයෙත් එකිනෙකාට මුණගැහෙන එක කොච්චර අමාරුද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි.