Latestවිදේශීය

සෙලෙන්ස්කි නිසා ආරක්ෂක මණ්ඩලය උණුසුම්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (20) පැවති රැස්වීමකට යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පැමිණීමෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වූ බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් 05 එනම් අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ චීනය හැරුණුකොට තවත් රටවල් 10කටම චක්‍රානුකූලව එහි සාමාජිකත්වය හිමි වේ. 

මේ වනවිට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය හිමි ඇල්බේනියාව එහි සභාපතීත්වය දරයි. 

ඇල්බේනියාවේ අග්‍රාමාත්‍ය ‘එඩ් රාමා’ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිටත් ඊයේ පැවති රැස්වීමට ආරාධනා කර ඇත.

එහෙත් ඊට ආරක්ෂක මණ්ඩලයේ රුසියානු නියෝජිත වැසිලි නෙබෙන්සියා දැඩි විරෝධයක් පළ කළ බව සඳහන්ය.

එඩ් රාමා ඇල්බේනියානු අග්‍රාමාත්‍යවරයා ලෙස නොව එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තම දේශපාලනමය මතයෙන් බැහැර ව ස්වාධීන ව කටයුතු කළ යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයේ රුසියානු තානාපතිවරයා තර්ක කර තිබේ.. 

මේ අතර, ඇල්බේනියානු අගමැතිවරයා ප්‍රකාශ කළේ, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හුදෙක් විශේෂ හමුදා මෙහෙයුමක් ලෙස හැඳින්විය නොහැකි බවයි. 

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට අදහස් පළ කිරීමට ඉඩ නොදීමට නම්, යුද්ධය නතර කළ හැකිදැයි ඔහු රුසියානු නියෝජිතයා ගෙන් විමසා තිබේ.

එහි දී රුසියානු නියෝජිතයා නැවතත් විරෝධය පළ කළ බව වාර්තා වේ. 

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, සිය රට ආක්‍රමණය කිරිමට දඬුවමක් වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ රුසියාව සතු නිෂේධ බලය අහෝසි කළ යුතු බවයි. 

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නික්ම ගිය පසු ආරක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණි රැසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් රුසියාව සතු නිෂේධ බලයේ නීත්‍යානුකූලභාවය අවධාරණය කර ඇත.

එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යුක්‍රේනය සහ බටහිර රටවල් ඔවුන්ට වාසිදායක වන විට පමණක් 1945 වසරේ ඇති කර ගත් එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්තිය තෝරාගැනීමක් සහිත ව පිළිපැදීමට උත්සාහ කරන බවයි.

යුක්‍රේන යුද්ධයේ දී යුක්‍රේන වැසියන් මිලියන 08ක් පමණ පසුගිය වසරක කාලය තුළ වෙනත් යුරෝපීය රටවල සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම ප්‍රකාශ කරයි. 

ඉන් වැඩිම පිරිසක් එනම් මිලියන 1.5ක් පමණ පැමිණියේ දේශසීමාවෙන් ඔබ්බෙන් වූ පෝලන්තයටය. 

ජර්මනියට මිලියනයක් පමණ යුක්‍රේන සරණාගතයන් පැමිණ ඇති අතර, චෙක් ජනරජයට පැමිණි සංඛ්‍යාව 490,000කි. 

එසේම යුක්‍රේනයට යුධ අවි සැපයීමේ දී බටහිර රටවල් ඒ සඳහා වේදිකාවක් ලෙස යොදාගත්තේ ද පෝලන්තයයි.

එමෙන්ම යුක්‍රේනයට නේටෝ සහ යුරෝපා සංගම් සාමාජිකත්වය ලබාදිය යුතු බවට පෝලන්තය ප්‍රබල හඬක් නැඟූ බව ප්‍රසිද්ධ කරුණකි.

මෙලෙස යුක්‍රේනයේ ප්‍රබල සහායකයෙකු වූ පෝලන්තය ඊයේ ප්‍රකාශයට පත් කළේ, අනපේක්ෂිත තීරණයකි.

පෝලන්ත අග්‍රාමාත්‍ය මතෙයුෂ් මොරවියෙස්කි ප්‍රකාශ කළේ, පෝලන්තය තවදුරටත් යුක්‍රේනයට යුධ අවිසැපයීමට සූදානම් නොමැති බවයි. 

ඒ වෙනුවට තම රටේ ආරක්ෂාව තරකිරීම සඳහා වැඩි අවධානයක් යොමුකරන බව ඔහු සඳහන් කළේය.

ගජ මිතුරන් වූ පෝලන්තය සහ යුක්‍රේනය මෙලෙස විරසක වීමට බලපා තිබෙන්නේ වෙළෙඳ අර්බුදයක් බව වාර්තා වේ.

යුක්‍රේනය සේම පෝලන්තය ද දියුණු කෘෂිකර්මාන්තයක් සහිත රටකි.

වර්තමානයේ පෝලන්තය වාර්ෂික ව යුරෝ බිලියන 32ක් පමණ වටිනා කෘෂි නිෂ්පාදන අපනයන කරන අතර ඉන් 80%ක්ම මිල දී ගන්නේ යුරෝපා රටවල්ය.

යුද්ධය නිසා යුක්‍රේනයට මුහුදු මාර්ගයෙන් සිය කෘෂි නිෂ්පාදන අපනයන කිරීම දුෂ්කර වීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් දේශසීමාව හරහා අසල්වැසි රටවලට අපනයනය කෙරෙයි. 

ඒ අතුරින් පෝලන්තය ප්‍රධානයි.

මෙලෙස යුක්‍රේන ධාන්‍ය විශාල වශයෙන් තම රටට පැමිණීම පෝලන්ත ගොවීන්ට බරපතළ ගැටලුවක් බවට පත් වී ඇත.

එහි ප්‍රථිඵලය ලෙස පෝලන්තය යුක්‍රේන ධාන්‍ය ආනයනය අත්හිටුවීම හඳුනාගත හැක.

පෝලන්තයේ එම පියවර යුක්‍රේන ජනාධිපති වොලොඩොමීර් සෙලෙන්ස්කි ගේ දැඩි විවේචනයට ලක් වී ඇත. 

සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ද ප්‍රකාශ කළේ, යුරෝපයේ ඇතැම් රටවල් දේශපාලන වේදිකාවේ දී සහෝදරත්වය පළ කළත් යුක්‍රේන ධාන්‍ය නිෂ්පාදන පරදුවට තබා ඇති බවයි. 

එය නියත වශයෙන්ම පෝලන්තය ඉලක්ක කරගත් උපහාසාත්මක ප්‍රකාශයක් බව පැහැදිලිවම පෙනන බව විචාරකයන් ගේ මතයයි.

යුක්‍රේනය සහ පෝලන්තය අතර ධාන්‍ය මුල්කොටත් මෙම වෙළෙඳ අර්බුදය පසුගිය මාස කිහිපය තුළ උත්සන්න වුණේ, රුසියාව කළුමුහුදේ ධාන්‍ය අපනයන ගිවිසුමෙන් ඉවත් විමත් සමඟයි. 

යුක්‍රේන ධාන්‍යවලින් යුරෝපීය වෙළෙඳපොළ පිරී ඉතිරී යද්දී මිල පහළ යාම මෙන්ම එම රටවල දේශීය කෘෂි නිෂ්පාදනවලට පවතින ඉල්ලුම ද පහත වැටීම දක්නට ලැබිණි.

මේ නිසා යුරෝපා සංගමයේ රටවල් රැසක් දේශීය ගොවීන් ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන් යුක්‍රේන ධාන්‍යවලට තහංචි පැනවීමට පියවර ගත්තේය.

පෝලන්තය පමණක් නොව බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව සහ ස්ලොවැකියාව එලෙස යුක්‍රේන ධාන්‍ය ආනයනය තහනම් කරන ලදි.

එම රටවල් පහේ කණ්ඩායම පැනවූ තහනම පසුගිය සතියේ ඉකුත් වූවත්, පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවැකියාව යුක්‍රේන ධාන්‍ය තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

යුක්‍රේනය, පෝලන්තය සමඟ උදහස් විමට ප්‍රධාන හේතුව එය බව ද වාර්තා වේ.

ඔවුන් ගේ තර්කය වන්නේ, දේශීය මිල ගණන් ස්ථාවර ව පවත්වා ගැනීම සඳහා යුක්‍රේන ධාන්‍ය තම වෙළෙඳපොළ අක්‍රමණය කිරීම නතර කළ යුතු බවයි. 

යුක්‍රේනය තමන් මෙතෙක් ලබාදුන් සහයෝගය අමතක කර ඇති බව පෝලන්ත නායකත්වය අවධාරණය කරයි.

ආයුධ සැපයීම නතර කිරීම පමණක් නොව යුක්‍රේනයෙන් සිදු කෙරෙන අනෙකුත් ආනයනවලට ද අතිරේක තහංචි පැනවීමට සිදුවිය හැකි බවට පෝලන්ත අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් ද කර තිබේ. 

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *