Latestදේශීයනවතම ලිපිමතවාදවිදේශීය

දෙබිඩිබව පිටු දකිමු ! ගාසා තීරය ආරක්ෂා කරමු !!

(01 කොටස)

ඔක්තෝබර් 7 වැනි සෙනසුරාදා හමාස් සංවිධානය විසින් හිටි හැටියේ දියත් කරන ලද ප්‍රහාරය විසින් ලොව පුරා කම්පන මාලාවක් ජනිත කළේය. සැනෙකින් බටහිර ආන්ඩු විසින් එය මහ හඬින් හෙලාදකිනු ලැබීය.

ප්‍රහාරය වූ වහාම මාධ්‍ය විසින් එය ඉදිරිපත් කරනු ලැබුවේ ඉතාමත් භයංකර වචන වලිනි. “නිදහස් මාධ්‍ය” ලෙසට හාස්‍යජනක ලෙස විස්තර කරන මාධ්‍ය විසින් බටහිර රටවල මහජන මතය දැඩි ලෙස සූදානම් කරනු ලැබුවේ ගැටුම තුළදී, සාමාන්‍යයෙන් ඔවුන් කරන ආකාරයට යහපත හා දුෂ්ඨ බව යන දෙකෙන් එකක් තෝරා ගැනීම වෙනුවෙනි.

මාරාන්තික වූ මෙම හාස්‍යජනක වැරදි තුළ, භූමිකාවන් ඉතා පසුවෙන් කණපිට හරවනු ලැබීය. වින්දිතයන් ආක්‍රමණිකයන් බවටත්, ආක්‍රමණිකයන් වින්දිතයන් බවටත් පත් කෙරිණි. ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදයේ අනෙකුත් සියලු කුරිරුකම් පිළිබඳ දිගින් දිගට සිදුකළ සදාචාරාත්මක හෙළා දැකීම් මාලාවක් විසින් මෙම බොරුව ස්ථාපිත කරනු ලැබිණි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, වොෂින්ටනයේදී, ජනාධිපති බයිඩන්, එම ක්‍රියාවන් “තනිකරම දුෂ්ඨ” ලෙස විස්තර කරන ලද්දේ “කෝපයෙන් තම රෝම කෙළින් කරගෙන” වූ අතර, ඔහු අවිවාදිතව ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය සමග සිටින බවට ප්‍රතිඥා දුන්නේය.

ලෝකයේ ධනවත්ම සහ බලවත්ම රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් ක්ෂණිකවම ඇමරිකාව ඊශ්‍රායලයට අමතර උපකරණ, සම්පත් සහ ආයුධ ලබාදීම කඩිනම් කරන බව ප්‍රකාශ කිරීමටත්, එහි නවතම සහ දියුණුම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සහිත පූර්ණ ප්‍රහාරක බල ඇණියක් මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරීමටත් පියවර ගත්තේය.

අධිරාජ්‍යවාදයේ දෙබිඩි බව හෙවත් සදාචාරයේ සාපේක්ෂ බව

මිනිසුන් ඝාතනය කිරීම ‍යනු බොහෝ මිනිසුන් තුළ ස්වභාවිකවම පිළිකුලක් ඇති කරන දෙයකි. “මිනී නොමරන්න” යන ආගමික ශික්ෂාපදය අප නිතර සිහිපත් කරන එකකි.

මුලින්ම, බැලූ බැල්මට, මෙම ශික්ෂාපදය නිරපේක්ෂ ලක්ෂණයක් දරන බවක් පෙනී යයි. කෙසේ වෙතත්, සමීප ලෙස පරීක්ෂා කිරීමේදී, ප්‍රචණ්ඩත්වයට සහ ඝාතනයට පාලක පන්තියේ සහ මාධ්‍යයේ ඇති අකමැත්ත කිසිසේත්ම නිරපේක්ෂ නොවන බවත් එයට සම්පූර්ණයෙන්ම සාපේක්ෂ අන්තර්ගතයක් ඇති බවත් පැහැදිලි වේ.

සාමාන්‍ය මිනිසුන් පුවත්පත්වලින් කියවන ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන ඔවුන්ගේ භීතිය හා කෝපය ප්‍රකාශ කරන විට, එය අපට තේරුම් ගත හැකි සහ අනුකම්පා කළ හැකි සාමාන්‍ය මිනිස් ප්‍රතිචාරයකි.

එහෙත් නොගිනිය හැකි අහිංසක මිනිසුන්ගේ ලේ තැවරුණු දෑත් ඇති ඇමරිකානු ජනාධිපතිවරයකු විසින්ද එම වචනම කියන විට අපට කළ හැක්කේ උරහිස් හකුලා පිළිකුලෙන් ඉවතට හැරීම පමණි.

සිදුවූ ප්‍රචණ්ඩත්වයෙන් කම්පනය වූවා සේ පෙන්වන අධිරාජ්‍යවාදී පාදඩයන් නැවත නැවතත් දරුණු ආක්‍රමණශීලී යුද්ධ දියත් කර ඇත. දශක දෙකක කාලයක් පුරා ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලේ වැකි යුද්ධ දියත් කිරීමට ඔවුන් පසුබට නොවූ අතර, එහිදී සිවිල් වැසියන් ලක්ෂ ගණනක් මිය ගියහ. ලිබියාවට, සිරියාවට, සුඩානයට, සර්බියාවට බෝම්බ හෙලුවේ අහිංසක සිවිල් වැසියන් ගැන කිසිදු තැකීමකින් තොරවය.

ඒ සියල්ලටම වඩා දරුණුතම සිද්ධිය වූයේ, මෑතකදී සෞදි අරාබිය විසින් අධිරාජ්‍යවාදී බලවතුන් වූ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ වෙනත් රටවල පූර්ණ සහයෝගය, අනුකූලත්වය සහ ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව, පෘථිවියේ දුප්පත්ම රටවලින් එකක් වන යේමනයේ ජනතාවට එරෙහිව ගෙනගිය ම්ලේච්ඡ යුද්ධයයි.

කිසියම් යුද්ධයක් ජන සංහාරයක් ලෙස හැඳින්විය හැකි නම්, නිසැකවම එය යේමනයදී සිදු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යේමනයේ 150,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර, සෞදිය සහ ඔවුන්ගේ සහචරයින් රෝහල් සහ සෞඛ්‍ය සේවා පහසුකම් විනාශ කිරීමට වගකිව යුතු විය. ඔවුන් විසින් හිතාමතාම නිර්මාණය කරන ලද දරුණු සාගතයක ප්‍රතිඵලයක් ලෙසින් 227,000 කට වඩා මිය ගිය බවටද ඇස්තමේන්තු කර ඇත.

නිසැකවම මෙම ගණන් හිලව් සෞදි‍ය සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් විසින් යේමනයේ ජනතාව මත පටවන ලද සමස්ත වින්දිතයින් සංඛ්‍යාව පිලිබඳ බරපතල අවතක්සේරු කිරීමකි.

එසේ වුවද මෙම ම්ලේච්ඡත්වය හෙළා දුටුවේ කොහේද? වොෂින්ටන් සහ ලන්ඩන් විරෝධතා පැවතියේ කොහේද? “ත්‍රස්තවාදය” ගැන කෑගහන යෝධ සිරස්තල කොහි වීද? ඔවුන් නිශ්ශබ්දව සිටියේ, දුප්පත්, පීඩිත ජනතාවකට එරෙහි මෙම සමූලඝාතන යුද්ධයට බටහිර ආණ්ඩු ක්‍රියාකාරීවම සම්බන්ධ වූ බැවිනි.

ප්‍රචණ්ඩත්වය ගැන පැමිණිලි කිරීමට හෝ “ත්‍රස්තවාදය” ගැන කිසිවෙකුට චෝදනා කිරීමට ඔවුන්ට අයිතියක් නැත. යුද්ධය සම්බන්ධයෙන් ගත් කල, සදාචාරාත්මක හෝ මානුෂීය ලෙසට සළකන් මෙන් ආයාචනා කිරීමෙන් පලක් නැත. යුද්ධ යනු මිනිසුන් මරා දැමීමයි. එසේම ඉතිහාසයේ කවදාවත් මානුෂීය යුද්ධයක් තිබී නැත.

එය හුදෙක් වර්තමානයේ ආක්‍රමණිකයන් විසින් මහජන මතය ඉදිරියේ තම ආක්‍රමණශීලීබව සාධාරණීකරණය කිරීම වෙනුවෙන් භාවිතා කරන නරුම වාක්‍ය ඛණ්ඩයකි; තම නිරුවත වසා ගැනීමට භාවිතා කරන කොළයකි.

ගාසා තීරය සහ යුක්රේනය, හෝ “ආත්මාරක්‍ෂාව සඳහා ඇති අයිතිය” පිළිබඳ සාපේක්ෂ බව

ඊශ්‍රායලයට සිය ආත්මාරක්ෂාව සඳහා ඇති ඊනියා අයිතිය සම්බන්ධයෙන්ද, බටහිර අධිරාජ්‍යවාදයේ දෙබිඩි පිළිවෙත යළිත් වරක් අපට පෙන්වා ඇත. යුක්රේනයදී, රුසියාවට එරෙහිව සටන් කිරීමට ඔවුන් ඇයව කරවටක් සන්නද්ධ කළේ, යටත් කරගෙන සිටින ජනතාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අයිතියක් ඇත යන නිදහසට කරුණ ඉදිරිපත් කරමිනි.

නමුත් පලස්තීනුවන් සම්බන්ධයෙන් ගත් කල, හදිසියේම මෙම අයිතිය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. පීඩිතයන් ආරක්ෂා කරනවා වෙනුවට අධිරාජ්‍යවාදීන් කරන්නේ පීඩකයන්ට ආයුධ සැපයීමයි. පැහැදිලිවම ස්වයං නිර්ණ අයිතිය සෑම කෙනෙකුටම අදාළ නොවේ!

අධිරාජ්‍යවාදයේ විකෘති තර්කය අනුව යමින්, යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි, රුසියාව විසින් තම රට ආක්‍රමණය කිරීම හමාස් සමඟ සංසන්දනය කර ඇති අතර, ඊශ්‍රායලයට “තම ආත්මාරක්ෂාව සළසා ගැනීමේ අයිතිය” වෙනුවෙන් වන ගායන වෘන්දයට ඔහුගේ ගොරහැඩි කුඩා හඬද එක් කර ඇත. මේ මහත්මයාගේ ප්‍රතිගාමී ස්වභාවයට තවත් සාක්ෂි වුවමනාද?

සිතාගත හැකි පරිදි, යුක්‍රේනයට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය යටපත් කිරීම වෙනුවෙන් රුසියාවට මැදපෙරදිග යුද්ධයක් අවශ්‍ය බවට සෙලෙන්ස්කි චෝදනා කරන අතර එමඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය නිසා අවධානය කීව් සටනෙන් වෙනතකට යොමුවිය හැකි බවට වන ඔහුගේ කනස්සල්ල පිලිබිඹු කර ඇත.

“රුසියාව මැදපෙරදිග යුද්ධයක් අවුලුවාලීමට උනන්දු වන අතර, නව වේදනාවේ සහ දුක්ඛිත මූලාශ්‍රයකින් ලෝක එකමුතුකම අඩපණ කිරීමටත්, අසමගිය සහ ප්‍රතිවිරෝධතා වැඩි කිරීමටත්, යුරෝපයේ නිදහස විනාශ කිරීම සඳහා රුසියාවට සහායක් ලබා ගැනීමටත් හැකි වනු ඇත,” යනුවෙන් ඔහු පැවසීය.

යුක්රේනය යුධ පිටියේ දරුණු පරාජයකට ලක් වූ විට සහ එක්සත් ජනපදය, ස්ලෝවැකියාව සහ පෝලන්තය ඇතුළු මිත්‍ර පාක්ෂිකයින් අතර නොසැලෙන සහයෝගයේ පැහැදිලි සලකුණු ඇති විට, සෙලෙන්ස්කි මංමුලා සහගත මිනිසෙකි, ඔහු ආයුධ සහ මුදල් ප්‍රවාහය සුරක්ෂිත කරනු ඇතැයි සිතන ඕනෑම දෙයකට යොමු වනු ඇත.

“රුසියාව මැදපෙරදිග යුද්ධයක් අවුලුවාලීමට උනන්දු වන අතර, ඒ හරහා ඇතිවන වේදනාවේ සහ දුක්ඛිත බවේ නව මූලාශ්‍රයකින් ලෝක එකමුතුකම අඩපණ කිරීමටත්, අසමඟිය සහ ප්‍රතිවිරෝධතා වැඩි කිරීමටත් ඒ හරහා යුරෝපයේ නිදහස විනාශ කිරීමටත් රුසියාවට සහායක් ලබා ගැනීමටත් හැකි වනු ඇත,” යනුවෙන් ඔහු පැවසීය.

සෙලෙන්ස්කි යනු යුක්රේනය යුධ පිටියේ දරුණු පරාජයන්ට ලක්වන විට සහ එක්සත් ජනපදය, ස්ලෝවැකියාව සහ පෝලන්තය ඇතුළු මිත්‍ර පාක්ෂිකයින් තුළින් තමන්ට ලැබෙන සහයෝගය වෙනස් වන බවට පැහැදිලි සලකුණු ඇතිවන විට, දෙයක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්වන අයෙක් වන අතර, ඔහු ආයුධ සහ මුදල් ප්‍රවාහය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් සිතෙන ඕනෑම දෙයකට යොමුවන අයෙකි.

පළි ගැනීම

යමෙකු සදාචාරයටද සාපේක්ෂතා න්‍යාය අදාළ වන බව පිළිගත් පසු, – එය “අපේ පැත්තේ අය” විසින් සිදු කරන තාක් කල් – මිනීමැරුම් සාධාරණීකරණය කිරීම සරල කාරණයක් බවට පත්වේ. ඉතා සුලබව දැකිය හැකි සදාචාරයේ මෙම සාපේක්ෂ බව මේ වනවිට ක්‍රියාත්මක වන බව අපි දකිමු.

සෙනසුරාදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය වේගවත් හා ම්ලේච්ඡ එකක් විය. ඊශ්‍රායලය යුද්ධයක යෙදී සිටින බව බෙන්ජමින් නෙතනියාහු ප්‍රකාශ කළේය. ගාසා තීරය “පාළු දූපතක්” බවට පත් කිරීමට ඔහු පොරොන්දු දී ඇත.

අල්ලාගෙන සිටින තීරුවට ප්‍රහාරක ජෙට් යානා මඟින්පහර දෙමින්, නේවාසික ප්‍රදේශවල උස් ගොඩනැගිලි බිමට සමතලා කරයි; පාසල්, රෝහල් සහ මුස්ලිම් පල්ලිවලට ඉවක් බවක් නොමැතිව පහර දෙයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය විසින් පවත්වාගෙන ගිය “සටන්කාමීන්” නොමැති පලස්තීන සරණාගතයින් සඳහා පැවති පාසලකට සෘජු ප්‍රහාර එල්ල විය. තවද බොහෝ නේවාසික මහල් නිවාස ඉලක්ක බවට පත්ව ඇති අතර, ඒ ගැන කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත.

ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඇතැම් ගොඩනැගිලි සුන්බුන් බවට පත් කළේය. ගාසා තීරයේ නිලධාරීන් පැවසුවේ රෝහල් සහ පාසල්වලට පහර දී ඇති බවත්, ළමයින් 260 ක් ඇතුළුව පලස්තීනුවන් 900 ක් දැනටමත් මිය ගොස් ඇති බවත්ය.

මේ කිසිවක් ආත්මාරක්ෂාව සමඟ සම්බන්ධයක් නැත. නමුත් සෑම දෙයක්ම පළිගැනීමේ පිපාසය සමඟ සම්බන්ධව ඇත. මේ එහි ප්‍රථම වතාව නොවේ. ඊශ්‍රායල රාජ්‍යය හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් තම නායකයන්ගේ ක්‍රියාවන් වෙනුවෙන් ගාසා තීරයේ ජනතාවට දඬුවම් කිරීමට උත්සාහ කරයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඈව් ගැලාන්ට් විසින් ගාසා තීරය “සම්පූර්ණයෙන් වැටලීමට” නියෝග කළේය: “මම ගාසා තීරය සම්පූර්ණයෙන් වැටලීමට නියෝග කර ඇත. විදුලිය නැතිවනු ඇත, ආහාර නැතිවනු ඇත, ඉන්ධන නැතිවනු ඇත, සියල්ල වැසෙනු ඇත.”

මිනිසුන්ට සහ දරුවන්ට ආහාර, ජලය සහ විදුලිය අහිමි කිරීම “ජාත්‍යන්තර නීතිය” යටතේ අපරාධයක් ලෙස සැලකේ. සෝචනීය තත්ත්වයකට පත්ව ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා මෙම කුඩා කරුණ ඊශ්‍රායලයට මතක් කර දීමට අවශ්‍ය විය. සිතාගත හැකි පරිදි මෙවැනි ආචාරශීලී මතක් කිරීම් ඵල රහිතය.

මිනිස් තිරිසනුන්

ඔවුන් මේ සියල්ල ඉතාම සරලව සාධාරණීකරණය කරන්නේ කෙසේද?

“අපි මිනිස් තිරිසනුන් සමඟ සටන් කරන අතර අපි ඒ අනුව ක්‍රියා කරනවා.” ලෙස කියමින් ඊශ්‍රායලයේ ආරක්‍ෂක අමාත්‍ය යොඈව් ගැලාන්ට් මෙය හොඳින් පැහැදිලි කළේය:

මෙම භාෂාව අප හොඳින් දන්නා එකකි. සතුරා අමානුෂික කොට ඝාතනය සාධාරණීකරණය කිරීම අධිරාජ්‍යවාදීන්ගේ සාමාන්‍ය සිරිතයි. අපගේ සතුරන් අප වැනි මිනිසුන් නොව හුදු සතුන් පමණක් බව අප පිළිගත් විට, අප කැමති ආකාරයට ඔවුන්ට සැලකීමට අපට අයිතියක් ඇතැයි හැඟේ.

දශක ගණනාවක් පුරා යුදෙව්වන්ව සැලකුවේද මිනිසුන් ලෙස නොව, මනුෂ්‍යයින්ට වඩා පහත් කොටසක් ලෙස බවද අපි මතක් කර ගනිමු. ඉන් ඇඟවුනේ ඔවුන්ට පහර දීමට, වධ දීමට, බඩගින්නේ තැබීමට, මරා දැමීමට හැකි බවත් එවැන්නක් කිසිවෙක් ගණන් නොගන්නා බවත්ය? අවසානයේ ඔවුන් “තිරිසනුන් පමණක්”, හෝ “මිනිස් තිරිසනුන්” හෝ වේ. වෙනස ඇත්තේ වචනයේ පමණි.

නමුත් ගාසා තීරයේ වැසියන් තිරිසනුන් නොවේ. ඊශ්‍රායෙල් වැසියන් මනුෂ්‍යයන් වන්නා සේම ඔවුන්ද මනුෂ්‍යයෝය. එමෙන්ම සියලු මනුෂ්‍ය වර්ගයාට එක හා සමානව සැලකීමට ලක්වීමේ අයිතියක් ඇත.

දෙබිඩ්ඩන්ගේ ගායනය

මනාව සැලසුම් කරන ලද එකමුතුවකින් මෙන්, ලොව පුරා දේශපාලන නායකයින් “තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය” වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ප්‍රකාශ කිරීමට ඉක්මන් වී ඇත. දකුණ සහ ‘වම’, රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් – සියල්ලෝම හම්පඩ ගැසුණු එකම ගීතිකා පොතේ ගීත මහ හඬින් ගායනා කරති.

අධිරාජ්‍යවාදයේ අපරාධ ගැන මුනිවත රකිමින් සිටි මාධ්‍ය දශක ගණනාවක් පුරා ඊශ්‍රායල රාජ්‍යය විසින් පලස්තීනුවන් වෙත එල්ල කළ සාපරාධී භීෂණය වාර්තා කිරීමද දැඩි ලෙස නොසළකා හැර තිබුණි. අන්ත දක්ෂිනාංශික යුදෙව් පදිංචිකරුවන්ගේ නිරන්තර ප්‍රචණ්ඩ ප්‍රකෝප කිරීම්වලට එම පලස්තීනුවන් ගොදුරු වී තිබුණි.

පැහැදිලිවම, මෙයින් අදහස් කරන්නේ මිලියන දෙකහමාරක දුප්පත් ජනතාවකගෙන් පිරී ඉතිරී ගිය කුඩා බිම් තීරුවක් කුඩු කර දැමීමෙන් ඊශ්‍රායලයට “ආරක්ෂා වීමට” ඇති අයිතිය සඳහා භෞතික පිටුබලයක් සැපයීමයි. ගාසා තීරය ලොව විශාලතම එළිමහන් බන්ධනාගාරය ලෙස විස්තර කර ඇත.

ගාසා තීරයේ පලස්තීනුවන් සමූලඝාතනය කිරීමට ඊශ්‍රායලය ගමන් කරන විට මුළු අධිරාජ්‍යවාදී කඳවුරම ඊශ්‍රායලය පිටුපසින් සිටගෙන ඇත. බෝම්බ, කාලතුවක්කු උණ්ඩ සහ මිසයිලවලින් ප්‍රමාණවත් තරම් පලස්තීනුවන් සංඛ්‍යාවක් මරා දැමීමට නොහැකි වන්නේ නම්, ඔවුන්ව සාගින්නේ තබා තවත් සංඛ්‍යාවක් තුරන් කිරීමට යුරෝපීය සංගමය සැලසුම් කරයි.

තම පැවැත්ම සඳහා පලස්තීනුවන්ට දැඩි ලෙස යුරෝපීය මූල්‍යාධාර මත යැපීමට සිදුව ඇති අතර යුරෝපා සංගමය නිවේදනය කළේ ඒවා අත්හිටුවන බවය. එම තීරණය කෙතරම් අපකීර්තියට පත් වූවාද යත් පසුව එය ආපසු හැරවීමට සිදුවිය.

“බටහිර ශිෂ්ටාචාරය” ලෙසින් හඳුන්වන දෙයෙහි ආසවනය කරන ලද සාරය පේළි කිහිපයකින් සාරාංශ කර මෙසේ දැක්විය හැක.

බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් වැනි දක්ෂිණාංශික “කම්කරු” නායකයන් ක්ෂණිකවම මෙම කුහක ගායනයට ඔවුන්ගේ ශෝකී හඬඳ එකතු කිරීම පුදුමයක් නොවේ. මේ නෝනා මහත්වරු තම ආත්මයන් යක්ෂයාට විකුණා දැමුවේ බොහෝ කලකට පෙරය. ඔවුන් අධිරාජ්‍යවාදයේ ඒජන්තයින් මිස අන් කිසිවෙක් නොවේ.

එසේ වුවද දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණවාදීන් මත පමණක් වරද පැටවිය නොහැක. ඔවුන්ගේ ලැජ්ජාවට මෙන්, බොහෝ ‘වාම’ ප්‍රතිසංස්කරණවාදීන්ද මෙම හෙළා දැකීමට සම්බන්ධ වී ඇත (සෑන්ඩර්ස්, ඉල්හාන් ඕමාර්, AOC – Alexandria Ocasio-Cortez, ප්‍රංශ ‘කොමියුනිස්ට්’ පක්ෂය මේ අතර සිටී.)

මේ ඊනියා වාමාංශිකයින් තම සම්පූර්ණ නිවටකම සහ ප්‍රතිපත්ති විරහිත බව ප්‍රදර්ශනය කර ඇත්තේ පළමු වතාවට නොවේ. ඔවුන් වහාම ධනේශ්වර ජන මාධ්‍යයේ සහ ධනේශ්වර මහජන මතයේ පීඩනයට හසු වී පාලක පන්තිය පසුපස ගමන් කිරීමෙන් නවතී.

ජාත්‍යන්තර මාක්ස්වාදී ප‍්‍රවනතාවය අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන් වටා එල්ලී සිටින්නන්ගේ දෙබිඩි ගායනයට සම්බන්ධ නොවනු ඇත.

අපගේ ස්ථාවරය කුමක්ද?

සෑම යුද්ධයකදීම එදිරිවාදී පාර්ශ්වයන් සෑම විටම ඔවුන්ගේම ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනීමැරුම් සාධාරණීකරණය කිරීම සඳහා – සැබෑ හෝ ගොතන ලද – කුරිරුකම් පිළිබඳ කථා භාවිතා කරයි. යුද්ධය ගැන කොමියුනිස්ට්වාදීන්ගේ ආකල්පය කිසිවිටෙක එක් පැත්තක් හෝ අනෙක් පැත්ත සාධාරණීකරණය කිරීමට නරුම ලෙස භාවිතා කරන සංවේදී ප්‍රචාර මත පදනම් විය නොහැක. එසේම පළමුවෙන් පහර දුන්නේ කවුරුන්ද යන කාරණය මතද යුද්ධයක් සාධාරණීකරණය කළ නොහැක. යුද්ධය පිළිබඳ අපගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනත් හේතු මත රැඳී සිටිය යුතුය.

අපගේ ස්ථාවරය ඉතා සරලය:

සෑම අරගලයකදීම අපි හැමවිටම ගන්නේ දුප්පත් හා පීඩිත ජනතාවගේ පැත්ත මිස ධනවත් හා බලවත් පීඩකයන්ගේ පැත්ත නොවේ.

ඒ වෙනුවෙන් අප නිශ්චිත ප්‍රශ්නය ඇසිය යුතුය : පීඩකයන් කවුද සහ පීඩිතයන් කවුද? ඊශ්‍රායලයට පීඩා කරන්නේ පලස්තීනුවන්ද? නිවැරදි මනසින් සිටින කිසිවෙකු එය විශ්වාස නොකරයි.

තමන්ට අයිති නැති ඉඩම් බලෙන් අල්ලාගෙන ඒවා සන්නද්ධ බලය භාවිතා කරමින් රඳවාගෙන ඉන්නේ පලස්තීනුවන් නොවේ. ඊශ්‍රායෙල් ජනාවාස පිහිටුවීම වෙනුවෙන් පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් වාසය කරමින් සිටි භූමි වලින් මිනිසුන්ව එළවා දමන්නේ පලස්තීනුවන් නොවේ. සිදුවන්නේ හරියටම එහි ප්‍රතිවිරුද්ධයයි.

ඊශ්‍රායල පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්නේ හෝ ම්ලේච්ඡ බාධක ඉදි කරමින් ඔවුන්ව ඔවුන්ගේම භූමිය තුළම ජනපද තුළට කොටු කිරීම්වලට යටත් කර ඇත්තේ පලස්තීනුවන් නොවේ.

පලස්තීනුවන්ට එරෙහිව ප්‍රතිගාමී ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද අපරාධවල දීර්ඝ ලැයිස්තුවක් කියවිය යුතුද?

පලස්තීනුවන්ගේ ජීවිත සජීවී අපායක් බවට පත් කරමින් දිනෙන් දින, මාසයෙන් මාසය, වසරින් වසර ඉදිරියට යන මේ අපරාධ ගැන සඳහන් කිරීමට අපට ඉඩක් නැත.

පලස්තීනුවන්ව ඇද දමා ඇත්තේ එක් ආකාරයක වහල්භාවයකටය. වහලුන්ට, අනෙකුත් සෑම අයිතියක්ම අහිමි වූ විට, ඉතිරිවන්නේ එකම එක අයිතියක් පමණි: ඒ කැරලි ගැසීමේ අයිතියයි.

සාමාන්‍යයෙන් ඉතිහාසය පුරා, වහල් කැරලි ඇතිවූයේ ප්‍රචණ්ඩ ක්‍රියා සමඟ වූ අතර, ඒවා වහල් හිමියන් අතින් ඔවුන් අත්විඳින ලද අති මහත් පීඩනයේ පිළිබිඹුවක් පමණක් විය.

මෙය කණගාටුදායක කරුණකි. නමුත් එය විසින් වහල් හිමියන්ට එරෙහිව වහලුන්ගේ කැරැල්ල ආරක්ෂා කිරීමේ වගකීමෙන් අපව නිදහස් කරන්නේ නැත. 1857දී ලියන ලද ලිපියක මාක්ස් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, එහි දී බ්‍රිතාන්‍යයට එරෙහිව සිදුවූ ඉන්දියානු නැගිටීමේදී සිදු කරන ලද සාහසික ක්‍රියා අවධාරණය කරමින් බ්‍රිතාන්‍ය පුවත්පත්වල පළවූ ලිපිවලට පිළිතුරු දෙමින් මෙසේ කියා ඇත.

“ඉන්දියාවේ කැරලි ගැසූ කුලී හේවායින් විසින් සිදු කරන ලද නරක ක්‍රියාවන් ඇත්තෙන්ම බියජනක, පිළිකුල් සහගත, විස්තර කළ නොහැකි, සන්නද්ධ නැඟිටීම්, රටවල් අතර, ජනවර්ග අතර හා ඒ සියල්ලට වැඩියෙන්, ආගම් නිසා ඇතිවන යුද්ධ වලදී පමණක් කෙනෙකුට දැකිය හැකි ඒවාය. එංගලන්තයේ ගෞරවනීයබව කෙසේද යන්න එක් වචනයකින් කිවහොත්, වෙන්ඩියන්වරුන් විසින් රිපබ්ලිකන්වරුන්ට (Blues), ස්පාඤ්ඤ ගරිල්ලන් විසින් නිරාගමික ප්‍රංශ ජාතිකයින්ට, සර්වියන්ස්වරු විසින් ඔවුන්ගේ ජර්මානු සහ හංගේරියානු අසල්වැසියන්ට, ක්‍රොඒට් ජාතිකයන් විසින් වියානා කැරලිකරුවන්ට, කැව්ග්නැක්ගේ Mobile Guard විසින් හෝ බොනපාට්ගේ දෙසැම්බර්වාදීන් විසින් ප්‍රංශ නිර්ධන පංතියේ පුතුන් සහ දියණියන්ට එරෙහිව මෙය සිදු කරන විට එංගලන්තය අත්පොළසන් දීමට පුරුදුව සිටියේය.

“කුලී හේවායින්ගේ හැසිරීම කෙතරම් කුප්‍රකට වුවත්, එය එංගලන්තයේ නැගෙනහිර අධිරාජ්‍යයේ ආරම්භක යුගයේදී පමණක් නොව, හොඳින් තහවුරු වූ දිගු කාලීන පාලනයේ අවසන් වසර දහයක කාලය තුළදී පවා දැක්වූ එංගලන්තයේම හැසිරීම් රටාවේ සංකේන්ද්‍රිත ස්වරූපයේ පරාවර්තනයක් පමණි. එම පාලනයේ ස්වාභාවය දක්වාලීමට, වධහිංසා පැමිණවීම එහි මූල්‍ය ප්‍රතිපත්තියේම ඓන්ද්‍රීය කොටසක් බව පැවසීම ප්‍රමාණවත්ය. මනුෂ්‍ය ඉතිහාසය තුළ පළිගැනීමට සමාන ආකාරයේ දෙයක් පවතී: ඉතිහාසය තුළ පවතින පළිගැනීමේ රීතිය නම්, එහිදී භාවිතා වන උපක්‍රම සකස් කරනු ලබන්නේ වරද කළ අය විසින් නොව වක්‍රාකාරයෙන් වරදකරු විසින්ම බවයි. කාල් මාක්ස් (ඉන්දියානු කැරැල්ල)

අප හමාස්වරුන්ට සහාය දක්වන්නේද?

එවිට, ඔබ හමාස් සංවිධානයට සහාය දක්වයි යනුවෙන් අපගේ සතුරන් පවසනු ඇත. මෙම චෝදනාවට අපි පිළිතුරු දෙන්නෙමු: කිසි විටෙකත් අපි හමාස් සංවිධානයට සහාය නොදක්වමු; අපි එහි දෘෂ්ටිවාදය බෙදා නොගන්නෙමු; එය භාවිතා කරන විධික්‍රම අපි අනුමත නොකරමු.

අපි කොමියුනිස්ට්වාදීන් වන අතර පොහොසතුන් හා දුප්පතුන්, පීඩකයන් සහ පීඩිතයන් අතර ඇති පන්ති අරගලය මත පදනම්ව අපගේම අදහස්, වැඩපිළිවෙල සහ ක්‍රම අපට තිබේ. සෑම අවස්ථාවකදීම අපගේ ආකල්පය තීරණය කරන්නේ එයයි.

එහෙත් හමාස් සමග අපගේ වෙනස්කම්, මූලධාර්මික වුවද, ඒවා -පෘථිවිය මත ඇති වඩාත්ම ප්‍රතිගාමී බලවේගය වන – එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් සහ එහි සාපරාධී හවුල්කරුවන් වන ඊශ්‍රායල පාලක පන්තියෙන් අපව වෙන් කරන වෙනස්කම් වලට ලං කිරීමටවත් නොහැකිය.

ඔබ බොහෝ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමට එකඟද? යනුවෙන් අපගේ විවේචකයින් අසනු ඇත. අපි කිසි දිනෙකත් එවැනි දේ වෙනුවෙන් පෙනී නොසිටි බවට පිළිතුරු දෙන්නෙමු. අප ඔවුන්ව අනුමත කරන්නේද නැත.

ස්පිනෝසා උපුටා දැක්වමින් කිව හැක්කේ අපගේ පළමු කාර්යය, හැඬීම හෝ සිනාසීම නොව, තේරුම් ගැනීමයි. සදාචාරාත්මක මානයන් අනුව යමක් පැහැදිලි කිරීමට යාම මුළුමණින්ම නිෂ්ඵලය. සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම සඳහා, ප්‍රශ්නය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ: හමාස් ප්‍රහාරයට තුඩු දුන්නේ කුමක්ද?

ප්‍රතිගාමී ඊශ්‍රායල් රාජ්‍යය විසින් පලස්තීනය තුළ දශක ගනනාවක් පුරා ගෙනගිය පීඩාව, ප්‍රචණ්ඩත්වය සහ යටත්කොට තබා ගැනීමෙන් එය වෙන්කළ හැකිද?

ඇත්ත වශයෙන්ම නැත.

ඊශ්‍රායලය යනු දශක ගනනාවක් තිස්සේ තිරිසන් බලයේ සහ ආර්ථික ශක්තියේ එකතුවක් මගින් පලස්තීනුවන් පලවා හරිමින් සහ පීඩාවට පත් කරමින් සිටින බලවත් හා ධනවත් රාජ්‍යයකි.

එමෙන්ම වර්තමාන තත්ත්වයට සෘජුවම හේතු වී ඇති සිදුවීම් දාමයද අප විසින් දැකිය යුතුය. අපට විශ්වාස කරන ලෙසට ඉල්ලා සිටින ආකාරයට එය හදිසියේම අහසින් පාත් වූවක් නොවේ.

පාවාදීම

අධිරාජ්‍යවාදීන් පලස්තීනුවන්ට යුක්තිය ඉටු කිරීමට පොරොන්දු විය. ඒ ඔවුන් තවත් ටිකක් බලා සිටියහොත් පමණි. එහෙත් ඔවුන් බලා සිට බලා සිට ඇතිවී අති අතර එකම ප්‍රතිඵලය වී ඇත්තේ තම මව්බිම තවදුරටත් විනාශ වීමත් තම අයිතිවාසිකම් තවදුරටත් අහිමි වීමත්ය.

ඉක්මනින් හෝ කල්ගත වී හෝ, පීඩිතයාගේ ඉවසීම අවසන් වූ විට, ඔවුන් තම පීඩකයාට එරෙහිව පහර දෙනු ඇත. එවැනි අවස්ථාවන්හිදී, වැඩිපුර බලය යෙදීම හා ම්ලේච්ඡත්වය අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එය ස්වභාවිකවම පසුතැවිලි විය යුතු කරුණකි. නමුත් ඇත්තටම වගකිව යුත්තේ කවුද?

මිනිසෙක් හෝ ගැහැනියක් මිනීමැරුමක් කරන්නේ නම්, එය නිසැකවම අපරාධයක් වන අතර දඬුවම් කරනු ලැබේ.

නමුත් කාන්තාවක් වසර ගණනාවක් තම සැමියාගේ ම්ලේච්ඡත්වයට ගොදුරු වී දිනක් තම වධකයාට එරෙහිව ඔහු දෙසට හැරී ඔහුව මරා දැමුවහොත්, බොහෝ අය පවසන්නේ ඇගේ ක්‍රියාවට හේතු වූ තත්ත්වය සැලකිල්ලට ගත යුතු බවයි.

අපි නැවත වර්තමාන තත්ත්වයට යමු. පිපිරීමට සති කිහිපයකට පෙර, යුදෙව් ආගමික උන්මත්තකයින් විසින් නිරන්තර කුපිත කිරීම් සිදු කරන ලදී. ඔවුන් ඉස්ලාමීය ලෝකයේ පූජනීය ස්ථානවලින් එකක් වන අල්-අක්සා පල්ලියේ පරිශ්‍රයට කඩා වැදුණි. ඔවුන් ක්‍රියා කළේ පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේය.

කුපිත කිරීම

නෙතනියාහු සියොන්වාදී අන්ත දක්ෂිනාංශය සමඟ සන්ධානයක සිටින අතර ඔවුන්ගෙන් සමහරක් විවෘතවම ෆැසිස්ට්වාදීන්ය. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ වන්නේ නව නක්බා සිදුවීමක් ඇති කිරීමයි – එනම් ජෙරුසලමෙන් සහ බටහිර ඉවුරෙන් පටන්ගෙන ඔවුන් දැන් ජීවත් වන භූමියෙන් පලස්තීනුවන් භෞතිකව ඉවත් කිරීමයි.

මෙම ප්‍රතිපත්තිය අලුත් දෙයක් නොවේ, නමුත් මෑත මාසවලදී එය උත්සන්න වී ඇත. ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද සහ අන්තවාදී ආගමික මූලධර්මවාදීන් අතරින් බඳවා ගන්නා ලද පදිංචිකරුවන්ගෙන් බටහිර ඉවුරේ ජනාවාස ගොඩනගා ඇත.

මේවා හමුදා විසින් ආරක්ෂා කරන මාර්ග ජාලයකින් සම්බන්ධ කර ඇති අතර, පලස්තීන භූමියේ පාලනය යටතේ පවතින භූමි ප්‍රදේශය විධිමත් ලෙස කැබලිවලට කඩා දමයි.

අන්ත-ජාතිවාදී ඊශ්‍රායල ආන්ඩුව නිසා ප්‍රතිගාමී පදිංචිකරුවන් ධෛර්යවත් වී ඇති අතර ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලැබී ඇත.

ආගමික ලෙසින් උද්‍යෝගිමත් පදිංචිකරුවන්ගේ සන්නද්ධ කල්ලි ඊශ්‍රායල හමුදාවේ සහ පොලිසියේ විවෘත හෝ රහසිගත සහාය ඇතිව පලස්තීනුවන්ට එරෙහිව සංහාර පවත්වමින් සිටිති. මෙම ඉඩම් කොල්ලය “ජාත්‍යන්තර නීතිය” යටතේ නීති විරෝධී විය යුතුය. නමුත් එක්සත් ජාතීන් විසින් චාරිත්‍රානුකූල ලෙස සම්මත කරන ලද සියලු යෝජනා මේ සාපරාධී ක්‍රියා නැවැත්වීමට කිසිවක් කර නැති අතර ඒවා නිශ්ඵල හා අර්ථ විරහිත වී ඇත.

මෙම තත්වයන් යටතේ, පලස්තීනුවන් ආපසු සටන් කිරීම ගැන කිසිවෙකුට හෝ පුදුම විය නොහැක. පීඩිත ජනතාවට විරෝධය පෑමට අයිතියක් ඇත.

@ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *