Latestනවතම ලිපිවිදේශීය

උතුරු කොරියාවේ ඔත්තු චන්ද්‍රිකාව සාර්ථකයි

උතුරු කොරියාව විසින් ප්‍රථමවරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂගත කිරීමට ඊයේ (22) සමත් වුයේ රුසියාවේ සහායෙන් බවට දකුණු කොරියාව චෝදනා කරයි.

උතුරු කොරියාවේ අභ්‍යවකාශ තාක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රුසියාව මෙලෙස සහය වී ඇති බව ඔවුන් පවසයි.

උතුරු කොරියාව මේ ආකාරයෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරනු ලැබුයේ ජාත්‍යන්තරයේ අවධානය වෙනත් ගැටුම් කලාප වෙත යොමු වී ඇති අවස්ථාවක වීම විශේෂත්වයකි.

රුසියාව, ඊශ්‍රායල – හමාස් යුද්ධය සහ චීනය පිළිබඳ අමෙරිකාවේ අවධානය යොමු ව තිබියදී එම අවස්ථාවට ප්‍රයෝජනයට ගෙන සිය යුද තාක්ෂණය වැඩිදියුණු කර ගැනීමට උතුරු කොරියාව කටයුතු කරන බව විචාරකයන්ගේ අදහස වී තිබේ. 

චන්ද්‍රිකා පිළිබඳ තොරතුරු ග්‍රහණය සහ විශ්ලේෂණය සඳහා අමෙරිකාව සමග එක්ව කටයුතු කරන දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය සඳහන් කළේ උතුරු කොරියාවේ මැලිග්යොං-01 චන්ද්‍රිකාව කක්ෂයට පිවිසී ඇති බව තහවුරු වූ බවය.

එහෙත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා තවත් කාලය අවශ්‍ය බව එමගින් ප්‍රකාශ කළේය. 

කෙසේ නමුත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, අඟහරුවාදා සන්ධ්‍යාවේ උඩුගුවනට යැවූ සිය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. 

බදාදා දිනයේ උතුරු කොරියානු චන්ද්‍රිකා පාලක මධ්‍යස්ථානය වෙත ගිය එරට නායක කිම් ජොං අන්, මැලිග්යොං-01 චන්ද්‍රිකාව මඟින් ඒවු ගුවාම් දිවයිනේ අමෙරිකානු හමුදා කඳවුරුවල ගුවන් ඡායාරූපය නිරීක්ෂණය කළ බව එමගින් සඳහන් කළේය. 

උතුරු කොරියානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා කක්ෂගත කිරීමට විරෝධය පා දකුණු කොරියාව, උතුරු කොරියාව සමග පවතින ආරක්ෂක ගිවිසුමෙන් පාර්ශ්වීය ලෙස ඉවත් වූ බවට අප ඊයේ තොරතුරු ඉදිරිපත් කළේය.

උතුරු කොරියාව අද ඊටත් වඩා ප්‍රබල ප්‍රතිචාරයක් ප්‍රකාශයට පත්කර තිබේ.

උතුරු කොරියාව ප්‍රකාශ කළේ දකුණු කොරියානු දේශසීමාව ඔස්සේ වඩාත් ශක්තිමත් ප්‍රබල හමුදා කණ්ඩයක් මෙන්ම නවීන අවි රැඳවීමට පියවරගන්නා බවය. 

එමෙන්ම දේශසීමාවේ උණුසුම් වාතාවරණයක් වැළැක්වීම සඳහා දකුණු කොරියාව සමග වූ ගිවිසුම යටතේ වළක්වා තිබූ සියලු පියවර නැවත ක්‍රියාත්මක කරන බවත් උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *