Latestදේශීයමතවාදසංස්කෘතික

විප්‍රවාසී දිවියේ දියසායම් සිත්තම්කරණය

(සනත් බාලසූරිය)

Alexander Vasilyev නම් මේ සිත්තරා මට මුණගැසුණේ ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ බම්බර්ග් නම් කුඩා නගරයේදී ය.

ඒ පසුගිය ගිම්හානය යි.

මා නිවසන කුඩා නගරයෙන් කිලෝමීටර් 250ක පමණ දුරකින් පිහිටි බම්බර්ග් (Bamberg) කරා මා ගියේ හුදෙකලා සරන්නකු ලෙසිනි.

එහෙත් මේ සිත්තරාගේ අභය ස්ථානය වී තිබුණේ ඒ කුඩා නමුත් සේයාරූ විසිතුරක් මවාපෑ සුන්දර නගරය යි.

රුසියානුවකු වූ ඔහු එහි පැමිණ සිටියේ සරණාගතයකු පරිද්දෙනි. නිල සරණාගතභාවයේ අවසානයක් ඒ වනවිටත් දැක නොසිටි ඔහු සිය විප්‍රවාසී දිවියේ එවකට කරමින් සිටි ප්‍රධාන කටයුත්ත වූයේ සිය දියසායම් සිත්තම්කරණය දිගින් දිගටම අභ්‍යාස කිරීම යි.

අපේ කෙටි සම්මුඛයේ පටන් ඔහු මගේ ෆේස්බුක් මිතුරෙක් විය.

එදා පටන් මම ඔහුගේ සිතුවම් මේ අවකාශයේ නොයෙක් වර දුටුවෙමි.

ඔහු සිය කලාව කොතරම් කැපවීමකින් නිරන්තරව අභ්‍යාස කරනවාද යන්න පසුගිය මුළු කාලය පුරා ම ඒ පළකිරීම්වලින් මම දුටුවෙමි. චිත්‍ර විචාරන්නට නොදන්නා නමුත් චිත්‍ර රසවිඳින්නකු වන මගේ ඇස කියන්නේ ඔහුගේ දියසායම් චිත්‍ර වෘත්තීය නිපුණත්වයේ පැහැය දරන බව ය. ලොකු විෂයය දැනුමක් නැතත්, ආලෝකය හැසිරවීම, වර්ණ සංකලණය ආදී දියසායම් මාධ්‍යයේ මූලික තාක්ෂණ විධිවලට ඔහු තමන්ගේම අනන්‍යවූ කෞෂල්‍යයක් හා ආරක් කවාඇති බව මේ සිත්තම් දකිනවිට මට සිතේ‍.

මම ඔහුගේ බිම්දසුන් හා නගර දසුන්වලින් සැදි එළිමහන් සිතුවම් ඇතුළු අපූරු සිත්තරකරණයේ උග්‍ර රසිකයෙක්මි.

බම්බර්ග් යනු ගල් ඇතිරූ මධ්‍යකාලීන මංමාවත්වලින් හා ගොඩනැගිලිවලින් සැදි, දිගු ඉතිහාසයකට හිමිකම් කියන ඉතාම සුන්දර, කුඩා නුවරකි. ජර්මනියේ ඇති සුන්දරම සුළුනගරයක් ලෙස සැලකෙන මෙහි පුරාණ නගර කොටස යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස 1993 දී නම්කරනුලැබ තිබේ. කෙටි කාලසීමාවකට ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ අගනුවර වශයෙන් ද පැවැති මේ කුඩා ‘සුළුනුවර’ පින්සල් මිටියත්, වර්ණ ඵලකයත් රැගෙන ඉබාගාතේ සරන්නට මොන තරම් අපූරු තැනක්ද?


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *