Latestදේශීය

විපක්ෂ නායකගේ මැයිදින පණිවුඩය

වැඩ කරන ජනතාවගේ අයිතිය එක් දිනකදී පමණක් නොව වසර පුරා සුරැකීමට එක් වෙමු යැයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ,

“වසර කිහිපයක සිට අපේ රටේ සමස්ත ජනතාව මැයි දිනය සමරමින් සිටින්නේ අතිශය බරපතළ ඛේදවාචකයන් රැසකට මුහුණ දෙමිනි. මෙවර මැයි දිනයද අපේ රටේ කම්කරුවන් ප්‍රමුඛ සමස්ත ජනතාව සමරන්නේ ඒ බිහිසුණු ඛේදවාචකයේම වෙනසක් නැතිවය.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ පවතින ජීවන වියදමට කිසිසේත්ම නොගැළපෙන, වැටුපකින් වැඩ කරන ජනතාවට අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදුව තිබේ. එවැනි තත්ත්වයක් මත වත්මන් රජය දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී වැඩ කරන ජනතාවගේ අරමුදල්වලට සිදු කළ බලපෑම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

රටේ ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනින් වැසී ගොස් ඇති අතර ඒ නිසා විරැකියාවද දිනෙන් දින ඉහළ යමින් පවතියි. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන නායකයන් පවා මුනිවත රකින මේ මොහොතේ රටේ විකල්ප ආණ්ඩුව වන අපි නිරන්තරයෙන්ම වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නඟමින් සිටිමු. මේ බිහිසුණු තත්ත්වයට ඒකාන්ත වශයෙන්ම මුහුණ දෙන්න සිදු වන බව අප එදා සිටම නිරන්තරයෙන් අනතුරු හැඟවූ අතර, ඒ සියල්ල අද වන විට යථාර්ථයක් බවට පත්ව තිබේ. මේ වන විට අප මැතිවරණ වසරකට පැමිණ ඇත. මෙවරද ඊනියා රැලිවලට නොරැවටී මේ රටේ සමස්ත ජනතාව දෙපයින් නඟාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැඟීමේ වගකීම අප සතුය. මේ වසරේ අප සියලු දෙනාම එකතු වී ජනතාව වෙනුවෙන් කැප වන ආණ්ඩුවක් සහ නායකයකු පත් කරගෙන, රටක් ලෙස නැවතත් නැඟි සිටීමට කාලය එළඹ තිබේ. ඒ සඳහා ජාති, ආගම්, කුල භේදයකින් තොරව රට වෙනුවෙන් එකට එක් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?