Latestදේශීය

මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනක් වෙනුවෙන් අපි මුලපුරා තිබෙනවා – ලියනගේ අමරකීර්ති

“ප‍්‍රභූ පාලකයන් නැවත වරක් මේ රටේ ජනතාව බෙදන්න ක්‍රියා කරමින් සිටිනවා. ඒ වාගේම වැඩ කරන ජනතාව බෙදා වෙන් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. මනුෂ්‍ය ජීවිතය කියන්නේ ශ‍්‍රමය වගුරා, මුදල් උපයා ගැනීම පමණක් නොවෙයි. දියුණු සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමත් අපට අයිතියි. මේ දක්වා අපට නොලැබුණු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනක් වෙනුවෙන් අපි මුලපුරා තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය ලියනගේ අමරකීර්ති අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ජාතික ජන බලවේගය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන මැයි රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය ලියනගේ අමරකීර්ති,

“මේ වාගේ පෙළපාළිවල වාර ගණනාවක් ගිහින් තිබෙන මට දහදියෙන් පෙඟුණු අත්දැකීම් තිබෙනවා. මේ රැලියේ දී ඔබත් සමග බෙදා ගැනීමට කරුණු කිහිපයක් හදවතේ සටහන් කර ගන්න උත්සාහ කළා. මේ මැයි රැලිය අවසන් කර අපි ආපසු යන්නේ ඊ ළඟ මැයි රැලිය අපේ පාලනයක් යටතේ පවත්වන බවට හදවතේ සටහන් කරගෙනයි. ඒ වාගේම මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ උඩපේරාදෙණිය ප‍්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සහෝදරවරුන් මේ ගමන සූදානම් කිරීම පිළිබඳ අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්න කැමැතියි. ආධාර පත‍්‍රයක් රැගෙන ගෙයින් ගෙට ගොස් ජනතාව එකතු කරන අතර, ආධාරයකුත් ලබාගෙන අනුරාධපුරයට පැමිණෙන ගමනේ දී වේල් තුනක ආහාර සපයා ගැනීම ගැනත් කතා කළා. ඒ ආහාර වේල් තුළ පවා සහෝදරත්වයේ පිවිතුරු හැගීම් සහ මානවීයත්වය, සමානාත්මතාව සටහන් වී තිබුණා. පසුගිය වසර කිහිපය තුළ ජාතික ජන බලවේගය ගොඩනැගීමේ දී මෙන්න මේ පිවිතුරු හදවත්, මිහිරි ජීවිතයක් පිළිබඳ රහස් එකිනෙකා අතර බෙදා ගැනීම මූලික වී තිබෙනවා. ඒ අතර ලැබුණු තවත් අත්දැකීමක් වන්නේ පොහොට්ටුවේ රැස්වීමට යන අය වෙනුවෙන් රුපියල් පන්දහසකුත්, මත්පැන් කාලකුත් ලබා දීම පිළිබඳ කරුණු ඒකරාශී වී තිබුණා. නමුත්, ඔවුන්ගේ ඡුන්දය අපට ලබා දෙන බව අපේ සහෝදරවරුන්ට ශපථ කර තිබුණා.

ආර්ථික අර්බුදය හමුවේ අවුරුදු නවයක පමණ පොඩි දරුවන්ට පවා ශ‍්‍රමය විකිණීමට සිදු වීම පිළිබඳ අත්දැකීමක් අපට බෙදා ගන්න තිබෙනවා. කුරුණෑගල ජීවත් වන එක් අවුරුදු නවයක පුතෙක් ඥාති ගෙදරක වළං සෝදමින්, තමන්ගේ කුසගින්න නිවා ගැනීමට රහසින් දංකුඩ කන මට්ටමට මේ රට පාලනය කළ පාලකයන් රට ඇදදමා තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න ජාතික ජන බලවේගය වටා ජනතාව රොදබඳිමින් සිටිනවා. දුප්පත්කම වාගේම දෙමළ ජනතාවට වේදනා ගෙන දෙන ප‍්‍රධාන කාරණයක් වන්නේ දෙමළ භාෂාවෙන් රාජ්‍ය ආයතනවලින් වැඩ කරගත නොහැකි වීමයි. අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට දෙමළ භාෂාවෙන් රෙජිස්ටර් ලියුමක් යැවීමේ හැකියාවක් නොලැබීමේ වේදනාවක් අපත් සමග බෙදා ගත්තා. ඒ ඊනියා ප‍්‍රභූ පාලකයන් නැවත වරක් මේ රටේ ජනතාව බෙදන්න ක්‍රියා කරමින් සිටිනවා. ඒ වාගේම වැඩ කරන ජනතාව බෙදා වෙන් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. මනුෂ්‍ය ජීවිතය කියන්නේ ශ‍්‍රමය වගුරා, මුදල් උපයා ගැනීම පමණක් නොවෙයි. දියුණු සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමත් අපට අයිතියි. මේ දක්වා අපට නොලැබුණු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනක් වෙනුවෙන් අපි මුලපුරා තිබෙනවා. අපේ ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනට තවත් ශක්තිය එක් කරමින්, දිනෙන් දින වැඩෙන අධිෂ්ඨානයෙන් මී ළ`ග මැයි දිනය අපේ පාලනයක් යටතේ පැවැත්වීමේ ඓතිහාසික කටයුත්තට හැම දෙනාම එකාවන්ව එකතු වෙමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?