Latestදේශීය

ඩයනාට රට යාම තහනම්

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමෙන් පසුව ඇය ගන්නා ක්‍රියාමාර්ග මොනවා දැයි පැහැදිලි කර ගැනීමට මාධ්‍යවේදීන් ගණනාවක් උත්සාහ කර තිබුණ ද දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.

බීබීසී සිංහල වෙබ් අඩවිය ද ඒ පිළිබඳව සොයා බලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව සහ එයට පෙර පැවති තත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් පළකර තිබිණි. එය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට භාජනය වී සිටින හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 09 වැනිදා) තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් සහ සමගි ජන බලවේගයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

විදේශ ගමන් බලපත්‍ර තුනක්

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනී….. ඩයනා ගමගේ නමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි කාන්තාවක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකින් නිගමනය කර තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මේ රටට පැමිණි තැනැත්තියක්. එසේ පැමිණ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇය මෙරටදී රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සැකකාරියක් වශයෙන් නම් කළ යුතු තැනැත්තියක්. එසේ තිබියදී ඇය සතුව මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතිනවා. ” යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා එම විදේශ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ඇය රටින් පිටවීමේ අවධානමක් පවතින හෙයින් ඩයනා ගමගේ නමැත්තිය රටින් පිටවීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගයේ නීතිඥවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ඩයනා ගමගේ නමැත්තිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2021 වසරේ මාර්තු මස 9 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කළ බව සඳහන් කළා. ඉන් අනතුරුව වසර දෙකක් ගත වී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගත්තේ නෑ. ඉන් අනතුරුව අපගේ නීතිඥවරු දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා මෙම තැනැත්තියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව. ඒ බව ඊයේ නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද සඳහන් කර තිබෙනවා. ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබියදීත් ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම්කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී තිබෙනවා. ඇය සතුව බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් සහ දේශීය ගමන් බලපත්‍ර දෙකක් තිබෙන බවටත් කරුණු වාර්තා වී තිබෙනවා” එම තත්ත්වය යටතේ අදාළ තැනැත්තිය රටින් පිටව යාමේ අනතුරක් තිබෙන හෙයින් ඇය විදේශගත වීම වළක්වාලන තහනම්ක් නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ නඩු ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කරනු ලබන්නේ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ අංශයෙන් බවත් මේ සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා”මෙම නඩුවේ විමර්ශනයට භාජනය වී සිටින ඩයනා ගමගේ නමැත්තියට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් සහ මෙරට විදේශ ගමන් බලපත්‍ර දෙකක් පවතින බව නඩු වාර්තාව පිරික්සීමේදී අනාවරණය වෙනවා. මෙම තැනැත්තියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. මෙම නඩුවට අදාළ වැඩිදුර වාර්තා සහ ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව පරික්ෂා කිරීමේදී ඩයනා ගමගේ නමැත්තිය ආගමන හා විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාවට සැකකාරියක් වශයෙන් නම් කිරීමට ප්‍රබල හැකියාවක් තිබෙන බව අධිකරණයට පෙනී වනවා. එවැනි අවස්ථාවක අදාළ තැනැත්තිය රටින් පලා ගියහොත් නඩුව විභාගයට බාධා සිදුවිය හැකියි ” යනුවෙන් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඩයනා ගමගේ නමැත්තිය සතුව විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතින හෙයින් ඇය රටින් පිටවීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන බවට නියෝග කළේය.

එම තහනම් නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

“නිදහසින් පසු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රථම අවස්ථාව”

(මැයි 8 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වනු ලැබීය.

“නිදහසින් පසු පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අවුරුදු හතරකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා. ඇය ජනතාවගේ බදුමුදලින් වරප්‍රසාද ලැබුවා. පසුගිය වසර ගණනාවකම මම ගෙන ගිය සටනට අද හොඳ උත්තරයක් ලැබිලා තිබෙනවා.”

“අධිකරණ නියෝගය ලැබුණු වහාම ක්‍රියාත්මක වෙනවා.”

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හරහා සිදුවන්නේ කුමක්දැයි විමසීමට බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂක ජනකාන්ත ද සිල්වා සම්බන්ධ කරගන්නා ලදි.

එහි දී ඔහු පැවසුවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත අධිකරණ නියෝගය ලැබී නොමැති බවත් එය අද දවස තුළ පාර්ලිමේන්තුව වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය. “අධිකරණ නියෝගය එනතෙක් අපට කරන්න වෙන්නේ මොකක්ද කියන එක ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බෑ. අධිකරණ නියෝගයේ තිබෙන විධිවිධාන මොනවද කියලා බලලා තමයි අපට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් මිය ගිහින් හෝ ඉල්ලා අස් වෙලා හෝ මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ වහාම අපි මැතිවරණ කොමිසමට දැනුම්දීම සිදු කරනවා. නමුත් මේ අවස්ථාව විශේෂ සිදුවීමක් නිසා අපට නියෝගය ලැබෙන තෙක් ඒ ගැන කියන්න හැකියාවක් නෑ,” සන්නිවේදන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

“අපට කරන්න කිසි දෙයක් නෑ”

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙලෙස අදහස් පල කළේ ය. “මේ ගැන අපට කරන්නවත් කියන්නවත් කිසි දෙයක් නෑ. අධිකරණ නියෝගය දීලා ඉවරයි. එතැනින් පස්සේ අපට එහෙම කරන්න දෙයක් නෑ. අධිකරණයෙන් එන්න එපා කියනවා නම් එයාට පාර්ලිමේන්තුවට එන්න බෑ, එච්චරයි.”

සජබට හිමි වූ ආසනය සහ ඩයනාගේ නිහඬතාවය

ඩයනා ගමගේ 2020 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි. කෙසේනමුත් ඇය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ අතර, මෙම තීන්දුව ලැබෙන විට ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යටතේ රාජ්‍ය ඇමති ධූරයක් දරමින් සිටියා ය. අධිකරණ තීන්දුවට අනුව ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසිවන නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් වෙනත් අයෙකු යෝජනා කිරීමේ අවස්ථාව නැවත සමගි ජන බලවේගයට හිමිව තිබේ.

මාධ්‍ය කිහිපයක් ම වාර්තා කර තිබුණේ එම මන්ත්‍රී ධූරය නීතීඥ මුජිබර් රහුමාන්ට ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බවයි. අද දින සමගි ජනබලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා මන්ත්‍රීධූරය සඳහා වන යෝජනාව මැතිවරණ කොමිසමට යවන බවය.

මෙලෙස මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා ගමගේ විසින් ඉදිරියට සිදු කරන්නේ කුමක් ද, ඇයගේ අනාගත දේශපාලන කටයුතු සිදු කරන්නේ කෙසේද යන කාරණා පිළිබඳ විමසීමට බීබීසී සිංහල විසින් දුරකතනය හරහා ඇයව සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී උත්සහ කළ නමුත් ඇය දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.

මන්ත්‍රී ධුරය දැරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පූර්ණ තීන්දුව කුමක් ද?

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් (මැයි 8 වැනිදා) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදි.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

‘බලය අයුතු ලෙස පරිහරණය කරලා’

එසේම ඩයනා ගමගේ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිබාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

දීර්ඝ විභාගයකින් අනතුරුව ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ “වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝම්බර් තම මස 05 වනදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා” යනුවෙන් සඳහන් කළේය.

තීන්දුව වැඩිදුරටත් ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා “වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වග උත්තර කාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වග බලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු බව ත් අවධාරණය කර තිබෙනවා.” යනුවෙන්ද සඳහන් කළේය.

(copy paste) තීන්දුව

ඩයනාගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම අභියාචනාදීකරණය හමුවේ නඩු පැවරූ අතර එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එය ප්‍රතික්ෂේප කිරීමටද නියම කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ “අභියාචනාධිකරණය ඉදිරියේ පැවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාලව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වග උත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි” යනුවෙන් සඳහන් කර සිටියේය.

වගඋත්තරකාර ඩයනා ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

“මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්‍යවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත් හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණය විසින් ප්‍රකාශ කර තිබු තීන්දු සියල්ල ඉවත දමන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් ” කෝ වොරන්ටෝ” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම පෙත්සන්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදී.

මෙහිදී පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් පෙනී සිටි අතර වග උත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *