Latestදේශීය

විභාග මධ්‍යස්ථානයක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් දුරදිග යයි – පාසලටත් හානි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු, එක් පාසල් සිසුවෙකුගේ මවක්, විභාග මධ්‍යස්ථානය තුලට කඩා වැදී සිසුන් පිරිසකට පහර දීමට යාමේදී, දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී විද්‍යාල කාර්යාලය දේපල වලටද හානි සිදුව සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ඇති බව වාර්තාවේ.

අනුරාධපුර දුර බැහැර සිසු සිසුවියන් සුළු පිරිසක් සිටින ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්ද, මෙම පාසලේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්ත කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බවත් අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් සහ ගම්මිරිගස්වැව එම විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම හට ගත් බව පොලිසිය කියයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දා සිට මේ දක්වා දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් සිදුව ඇති අතර (13දා) උදෑසන, මෙම ගැටුම හටගත් අවස්ථාවේදී එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර එම අවස්ථාවේදී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති එක් සිසුවෙකුගේ මවක් සිසුන් කිහිපදෙනෙකුට පහර දීමට ගොස් එක සිසුවෙකුගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචනයෙන් බැන කලහකාරී ලෙස හැසිරී ඇති බව දෙමාපියන් පිරිසක් මෙහිදී පැවසූහ.

මෙම ගැටුම දුරදිග යාමෙන් සහිරා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ ජනෙල් කිහිපයක පහරදී වීදුරු කඩා දැමීම හේතුවෙන් දැඩි අලාභ හානි සිදුව තිබුණි.

විභාගයට අදාළව පෙරේදා උදෑසන පැවති එක් ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමෙන් අනතුරුව සිසු සිසුවියන් පිරිසක්, පස්වරුවේ පැවැත්වෙන ප්‍රශ්න පත්තරයට මුහුණ දීමට පෙර නියම කර තිබූ විවේක කාලයේදී ආරක්ෂාව පතා සහ පැමිණිලි කිරීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියට දිව යන ආකාරයද මෙහිදී දැක ගත හැකි විය.

මෙම ගුටිබැට හුවමාරුව හේතුවෙන් පාසල් සිසුන් කිහිපදෙනෙකු සුළු තුවාල සිදුව තිබූ අතර ගැටුමට මුල් වූ බව කියන, තදබල ලෙස පහර කෑ සිසුවෙකු විභාගය අවසානයේදී ගිලන් රථයක් මාර්ගයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේය.

ගැටුම සම්බන්ධ පුවත පැතිර යෑමත් සමග, විභාගය අවසානයේදී යලිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවේ යැයි බියෙන් සිසු දරු දැරියන් බොහෝ පිරිසකගේ දෙමාපියන් ඥාති පිරිස්, සහිරා විද්‍යාල ඉදිරිපිටට රැස්ව සිටියහ.

විභාගය අවසාන වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පළාත් අධ්‍යාපන බලධාරියෙකු, දෙමව්පියන් සහ දරු දැරියන් එක් ස්ථානයකට කැඳවා කියා සිටියේ, වසර 11 පාසල් අධ්‍යාපනය හදාරා මේ ආකාරයට හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවය. ඊට දෙමව්පියන්ද වගකිවයුතු බවද ඒ මහතා පැවසීය. තව දින දෙකක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවත් එම දින දෙක තුළදී මේ ආකාරයෙන් කලහකාරී සිදුවීමක් ඇති කර ගත හොත් ඒ සම්බන්ධයෙන් ඉහල අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු කරන බවත් එසේ වුවහොත් එම සිසුන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය නිකුත් කිරීමට පවා එය බාධාවක් විය හැකි බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්හ.

දරුවාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සලකා බලා, ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරි බව උසස් පොලිස් නිලධාරියෙකු අප කල විමසීමකදී සඳහන් කළේය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළින හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ මෙහෙයවීමෙන් එම පාසලට අමතර පොලිස් කණ්ඩායමක් යවා එම ගැටුමට මුල් වූ බව කියන, ගම්මිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් විද්‍යාලයේ සිසු දරු දැරියන් රැගත් බස් රථය ආරක්ෂා සහිතව විභාග ස්ථානය අසලින් පිටත් කර හැරීමට කටයුතු කළහ.

@ ADA

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?