Latestදේශීය

සමාජ පරිවර්ථනයේ ගෞරවණීය කොටස් කරුවෙක් වූ විශ්‍රාමික ප්‍රජාව – අනුර දිසානායක

“අපි හරිටම කේන්ද්‍රය ප්‍රශ්න කරන්න ඕනෑ. සත්‍ය සහ බොරුව අතර ප්‍රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්‍රශ්නය, අනුගමනය කරන පැරණි ආර්ථික ප්‍රතිපත්තිය සහ නව ආර්ථික ප්‍රතිපත්තිය අතර ප්‍රශ්නය, කේන්ද්‍රගත කරන්න ඕනෙ. විශාල මෙහෙයුමක් ගියාට අපිව ව්‍යාකූලත්වයට පත්කරන්න ඉඩ දෙන්න එපා. ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔබ කියන දේට ඇහුම්කන් දෙන විශාල කණ්ඩායමක් ඉන්නවා. ඔබට සමාජයේ විශාල බලයක්, වගකීමක් සහ ගරුත්වයක් තිබෙනවා. ඔබට තිබෙන ගරුත්වය උපයෝගී කර ගනිමු මේ දේශපාලනය පරිවර්තනය කිරීම වෙනුවෙන්. මේ පරිවර්තනයේ සක්‍රීය කොටස්කරුවෙක්, ඉදිරිගාමී කොටස්කරුවෙක් වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ රට මීට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කරන්න මේ පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න, ක්‍රියාකාරී වෙන්න. මීට වඩා හොඳ රටක් බවට පත් කරන්න, පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. යහපත් දේද, අයහපත් දේද, සත්‍යයද බොරුවද අවංකභාවයද ව්‍යාජත්වයද යන්න අපට තෝරා ගැනීමක් අප ඉදිරියේ තිබෙනවා. නිවැරදි තෝරාගැනීම වෙනුවෙන් අපි එකතු වෙමු.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ජාතික සමුළු අමතමින් අවධාරණය කලේය.

පසුගිය 19 වනදා මහරගම ජාතික තරුණ තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති එම සමුළුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක,

“ආණ්ඩුවක් කියන්නේ ජනතාව ඡන්දයක් දීලා පත්කර ගන්නා පාලනයක්. පාලනයක තිබෙන මූලික වගකීම තමයි ඒ රටේ පුරවැසියා බලා ගැනීම. ඔවුන්ට ශක්තිමත් ආදායම් මාර්ගයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පද්ධතියක්, නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් හැදීම, මානසික සුවයෙන් ජීවත්විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම, සතුට, සිනහව තිබෙන පුරවැසියන් ගොඩනඟන එක. අපේ පුරවැසියන්ගෙන් යම් ප්‍රමාණයක් මේ ආර්ථිකයත් එක්ක ගැටගැසෙමින් තමන්ගේ ජීවන වෘත්තිය සකසා ගන්නවා. පුරවැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා දෛනිකව ශ්‍රමය, කාලය ආර්ථිකයට සම්බන්ධවීමට බැරිවුණු, ආර්ථිකයට සම්බන්ධ වුණත් ඒකෙ ප්‍රතිලාභ ප්‍රමාණවත් ලෙස නොලැබෙන ජනතාවක්. ඒ කියන්නේ රැකියාවක් කළත්, ලැබෙන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ජනතාවක්. වැඩිහිටිභාවයට පත්වීම හේතුකොටගෙන වැඩ කිරීමට ශ්‍රමය, කාලය හෝ වැඩ කළ නොහැකි, ඒ වගේම විවිධ හේතූන් මත ආබාධිත තත්වයට පත්වුණු ජනතාවක්.

ආර්ථිකයෙන් පිටමං කරන ලද, දෛනිකව ශ්‍රමය, කාලය ආර්ථිකයට සම්බන්ධ නොවුණු ජනතාවගෙන්, ග්‍රාමීය දුප්පත්භාවය ගොඩනැගී තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට අපට වැඩසටහනක් අවශ්‍ය නැද්ද? මහ බැංකු වාර්තාවෙන් ඉදිරිපත්කොට තිබෙනවා හරිහමන් ආහාර වේලක් නොමැති පිරිස ජනගහනයෙන් 68%ක් බව. පවුල් ලක්ෂ 34කට හාල් කිලෝ 10 බැගින් බෙදන්න තීරණය කර තිබුණා. ඒ කියන්නේ ජනතාවගෙන් 50%කට වැඩි පිරිසකට හාල් කිලෝ 10ක් ලබා දෙන්න සිදුවෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගෙවා ගන්න නිසි ආහාර වේලක් නොමැති ජනතාවක්. එම ජනතාව සඳහා අපට වැඩසටහනක් තිබිය යුතුයි. ලෝකයේ සෑම රටකම ආර්ථිකයෙන් පිටමංකොට තිබෙන ජනතාව බලා ගැනීම සඳහා සහනාධාර ලබාදීම සිදුකරනවා. අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහාත් සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. හැබැයි දීර්ඝ කාලයක් ඔවුන් සහනාධාරයේ රඳවා තබා නොගෙන, ක්‍රමානුකූලව ඔවුන්ට ජීවත්වීමට සරිලන ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමේ ආර්ථික වැඩපිළිවෙළකට බද්ධ කර ගත යුතුයි. ඒ වගේම ආබාධිත ජනතාවත්, හව්හරණක් නැති වැඩිහිටි ජනතාවත් අපි බලාගත යුතුයි. පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ සේවය කොට, වයස හේතුවෙන් වැඩ අත්හැරි, ජනතාව රැක බලාගැනීමේ වගකීමත් රජයට තිබෙනවා. සෑම පුරවැසියෙකුටම ජීවත් වීම සඳහා හොඳ ආදායම් මාර්ගයක්, හොඳ නිවාසයක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, නිසි අධ්‍යාපනයක්, මානසික සුවයක්, හොඳ ප්‍රවාහනයක් අවම පහසුකම් ලෙස තිබිය යුතුයි. අපේ රටේ විශ්‍රාමිකයන්ගෙන් බහුතරයකට මේ දේ ලැබෙන්නේ නැහැ.

නමුත් රටේ එක් පුරවැසි කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයන් සහිතවත්, පොදු පුරවැසියන්ට අවශේෂ තත්වයකුත් නිර්මාණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, දීමනා, නිවාස, වාහන සියල්ල අහෝසි කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම ජීවන වියදම වේගයෙන් වර්ධනය වෙන විට, ඔවුන්ගේ එකම යැපුම් මාර්ගය වන විශ්‍රාම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සහ දීමනාවන් වැඩි කළ යුතුයි. විවිධ කමිටු වාර්තාවලින් රාජ්‍ය සේවකයෙකුගේ වැටුප 70%කින් වැඩිවිය යුතු යැයි ඉදිරිපත් කොට තිබෙනවා, ඔබගේ ජීවන විදයමට සරිලන විශ්‍රාම වැටුපක් ලබාදෙන බවට අපි ඔබට සහතිකයක් දෙන්නම්. 2016-2019 විශ්‍රාමිකයන්ගේ විශේෂ කාණ්ඩයක් ඉන්නවා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් අත්සන් කරන ලද ලිපියේ 2019න් පසුව විශ්‍රාම යන විට රු:10,000 මූලික වැටුපට එකතුකොට ලබාදෙන බවට සඳහන් කොට තිබෙනවා. නමුත්, සාධාරණ වූ එම වැටුප නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. මහින්ද සහෝදරයාත්, සරත් ලාල් සහෝදරයාත් නඩුවක් ගොනුකොට තිබෙනවා. එහි තීන්දුව මැයි 31දිනට ලබාදීමට නියමිතව තිබෙනවා. 1997 සිට මතුවී තිබෙන ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවත් විසඳිය යුතුව තිබෙනවා. අග්‍රහාර ලබාදීමේදී 2016 ට පෙර විශ්‍රාම ගිය හා 2016ට පසුව විශ්‍රාම ගිය යනුවෙන් කාණ්ඩ දෙකකට බෙදා තිබෙනවා. එය කිසිසේත් යුක්තිසහගත බෙදීමක් නොවෙයි. අපි විශ්වාස කරන්නේ සියලු දෙනාටම සෞඛ්‍යය ආරක්ෂණ ක්‍රමයක් සකස් කළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සඳහා 15%ක පොලියක් ලබාදුන්නා. බොහෝ විශ්‍රාමිකයන් තමන්ට ලැබුණු 15% පොලියෙන් තමයි තමන්ගේ බෙහෙත් ටික ගත්තේ, වතුර බිල, ලයිට් බිල ගෙව්වේ, ආහාර පාන ගත්තේ. ආර්ථිකය කඩා වැටෙමින් තිබුණු අවස්ථාවක, ජ්‍යෙෂ්ඨ පුරවැසියාට ලැබෙමින් තිබුණු ආර්ථික වාසියක් ආණ්ඩුව විසින් පැහැර ගන්නවා. ඒ නිසා යළි විශේෂ පොලී අනුපාතයක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් තැබිය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා. ඔබ මිලදී ගන්න භාණ්ඩවලට පමණක් නොවෙයි, ඔබේ විශ්‍රාම වැටුප හෝ පාරිතෝෂිකය බැංකුවක තැන්පත් කොට, ලබා ගන්නා පොලියටත් බදු ගහනවා. අනිවාර්යයෙන් එය ඉවත් කළ යුතුයි. එයින් මේ ගැටලු නිමා නොවෙන බව අපි දන්නවා. ඉතා ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්හි ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් තිබෙනවා. ආර්ථිකයෙන් පිටමංකරන අය, ආර්ථිකයට හවුල් නොවෙන අය, වැඩිහිටි අය, විවිධ ආබාධිත කණ්ඩායම්, ව්‍යාපාර කඩා වැටීම්, හදිසි අර්බුදයන්හිදී ඒ අයට රැකවරණය ලබාදීම සඳහා ශක්තිමත් ආරක්ෂණ අරමුදලක් අවශ්‍යයි. අපේ ආර්ථිකයට එවැනි විශේෂ තත්වයකට මුහුණ දීම සඳහා වත්, විශේෂිත පුද්ගලයන් බලා ගැනීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. මේ සියල්ල ගැටගැසී තිබෙන්නේ අපි අනුගමනය කරන ආර්ථික උපායමාර්ග සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වුණොත් පමණයි. ඒ නිසා අපට මේ ආර්ථිකය නව යහපත් දිසාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. එතනදි බලය ලබා ගැනීම තීරණාත්මකයි.

මේ අවස්ථාවේ මතුවී තිබෙන ප්‍රශ්නයක් තමයි, පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද පැවැත්වෙන්නේ කියන එක. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයත්, ඔක්තෝබර් 16ටත් සැප්තැම්බර් 17ත් අතර ජනාධිපතිවරණය පැවැත්වීමේ බලයත් ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නම් රනිල් වික්‍රමසිංහ අද හෝ හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ගත හොත් ඔහුගේ බලය අහෝසි වෙනවා. ඔහුට තව මාස කිහිපයක් බලයේ සිටිය හැකිව තිබියදී, කලින්ම පුටුවෙන් නැගිටින්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඔහු වටා එකතු වී සිටින පොහොට්ටුවේ කණ්ඩායමේ සියලු දෙනාම ඡන්දෙ ඉල්ලන්න නැවතත් පොහොට්ටුවට යනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර, එයින් ලැබෙන ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති නොවෙයි, ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් බැහැ. විසුරුවා හැරියොත් එක්සත් ජාතික පක්ෂය අවසන් වෙනවා. ඒ අනුව විසුරුවා හැරිමේ ඉඩකඩ ඔහුට දේශපාලනිකව අවාසියි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැසිල් රාජපක්ෂට වුවමනාව තිබෙනවා. එක්කෝ එයා රනිල්ට සහාය දෙන්න ඕනෑ. ජනතාවගේ සහායෙන් රනිල් ජනාධිපති වුණොත්, පොහොට්ටුවේ ගමන එතනින් අවසන්. රනිල්ට සහාය නොදී වෙන අපේක්ෂකයෙක් දැම්මොත්, පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණයත් නැතිවෙනවා. දාන්න කෙනෙකුත් නැහැ. ජනාධිපතිවරණය දිනන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ ඡන්දෙට බලපානවා. ඒ නිසා ඒගොල්ලන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුව ඉක්මනින් ගන්න. ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්. සජිත්ට වඩා ස.ජ.බෙ. ඔට්ටුවට දැමීම ඒගොල්ලන්ට වාසියි. ඒ නිසා ඒගොල්ලනුත් කැමතියි, පාර්ලිමේන්තුව විසුරුවනවාට. ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි. ව්‍යවස්ථානුකූලව දෙකම පවත්වන්න ඉඩ තිබුණත් දේශපාලනිකව ජනාධිපති ඡන්දය පැවැත්වීමට නියමිතයි.

අපේ රටේ බලය හුවමාරු වෙන තීරණාත්මක මැතිවරණයක් එනවා. අපේ සමාජය නිශ්චිත වශයෙන් අවදි විය යුතුයි. එයාලා සතු විශාල මාධ්‍ය බලයක් තිබෙනවා. එයාලාට හැකියි, මුඛ්‍ය ප්‍රශ්නය, යට ගහලා, ජනතාව කැලේ ගෙනියන්න; අතුරු පාරවල්වල ගෙනියන්න. ඇත්ත ප්‍රශ්නය යට ගහලා සමාජයේ ව්‍යාකූලත්වයක් ඇති කරන්න. ඇත්ත ප්‍රශ්නය වෙනුවට නැවත නැවතත් 88/89ක් ගැන කියවනවා. 88/89 අපරාධ අපි නම්, ඇයි නන්දා අපි වෙනුවෙන් සිංදු කියන්නේ? මෙතන කියපු සිංදුවේ මුළුමනින්ම තිබුණේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ස්වභාවය. ළමුන් පැහැර ගනිපු ආකාරය. වදකඳවුරු තිබුණු ආකාරය. ඇමතිවරුන්ගේ ගෙවල්වල වදකඳවුරු තිබුණා. ඒ.එම්.එස්.අධිකාරිගේ ගෙදර, පුත්තලමේ ඇමතිගේ ගෙදර, දික්වැල්ලේ ඇමතිගේ ගෙදර, බදුල්ලේ ඇමතිගේ ගෙදර වදකඳවුරු තිබුණා. මැර හමුදා හදාගෙන හිටියා. ඒ නිසා තමයි නන්දා මාලිනියට මෙවැනි සිංදු කියන්න සිදුවුණේ. නමුත් දේශපාලනය විසින් ඒක විශාල ව්‍යාකූලත්වයට නගනවා, ජනතාව කැලේ ගෙනියන්න. මම ජනතාවගෙන් ඉල්ලන්නේ, අපි නිශ්චිත ප්‍රශ්නයට කේන්ද්‍රගත වෙමු.

සමාජයේ තිබෙනවා ඇත්ත සහ බොරුව කියා දෙකක්. අපේ මුළු දේශපාලනයම ඇත්ත මත පදනම් වූ දේශපාලනයක්. ඔවුන්ගේ මුළු දේශපාලනයම බොරුව මත පදනම්, වූ දේශපාලනයක්. ඔවුන් ජනතාවට ඇත්තටම ආදරේ කරනවා නම්, ඒ නායකයන්ට පුළුවන්ද, විදින බෙහෙතට වස දාන්න. ජනතාවට ඇත්තටම ආදරය කරන නායකයන්ට පුළුවන්ද ජනතාව බොන තේ එකට දාන සීනිවලට ගහන බද්දෙන් සොරකම් කරන්න. මුළු රටේම වාහන පර්මිට් නතර කර තිබියදී, මන්ත්‍රීවරු 82ක් ලියුම් අත්සන් කරනවා ඒගොල්ලන්ට පර්මිට් ගන්න. මේ වගේ වෙලාවක නායකයන්ට පුළුවන්ද, එවැන්නකට අත්සන් කරන්න. අපි කථානායකවරයාට කියනවා පර්මිට් ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන්න. අපි වාහන පර්මිට් ගන්නෙත් නැහැ. මේක නතර කිරීමට කළ හැකි ක්‍රියාමාර්ගත් ගන්නවා. අපි සැබැවින්ම මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක්, යහපත් රාජ්‍යයක් අපේක්ෂා කරන අය. අපි සමාජයට ඇත්ත සහ බොරුව අතර වෙනස හෙළිදරව් කරන්න ඕනෑ.

අපේ රටේ ගමන් කරමින් තිබෙන ආර්ථික උපායමාර්ගය අතර සහ නව ආර්ථික උපායමාර්ගය අතර සංවාදය මතු විය යුතුයි. ඇත්ත තත්වය මොකක්ද? මේ ආර්ථික ගමන වැරදියි. මේ ආර්ථික ගමන නිවැරදි නම් රටට මෙහෙම වෙන්න විදිහක් නැහැ. නව ආර්ථික ගමනකට රට ප්‍රවේශ කරන්න ඕනෑ. 1948 අපේ රට නිදහස ලබා ගන්න කොට අපේ නායකයන්ට රට ගෙනියන්න ඕනෑ කුමන දිසාවටද කියා දැක්මක් තිබුණේ නැහැ. හැබැයි ඉන්දියාව නිදහස ලබා ගන්නකොට එයාලගේ නායකයන්ට තමන්ගේ රට ගෙන යන්න ඕනෙ කුමන දිසාවටද යන්න පිළිබඳ දැක්මක් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද හඳට යන, ආසියානු කලාපෙට ඖෂධ හදන, වාහන හදන, ආහාර හදන, රෙදිපිළි නිෂ්පාදනය කරන, බීජ නිෂ්පාදනය කරන ඉන්දියාවක් බිහිවෙලා තිබෙනවා. 20වැනි සියවස මානව ඉතිහාසයේ විශාලම පෙරළි සිදුවුණු සියවස. දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව රටවල් ශක්තිමත් ආර්ථික පදනමක් හදා ගත්තේ 20වැනි සියවසේ අත්තිවාරමෙන්. යුරෝපයේ 17වැනි සියවසේ රටවල් ආක්‍රමණයෙන් ශක්තිමත් ආර්ථිකයන් හදා ගත්තා. අපි විසිවැනි සියවස අත්පත් කර ගන්නවා වෙනුවට අත්හැරපු ජාතියක්.

20වැනි සියවසේ රටේ ගමන් මාර්ගය පිළිබඳ සංවාදයක් එළියේ තිබුණා. 1918 ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ විමල සුරේන්ද්‍ර මහතා, ලක්ෂපාන විදුලි බලාගාරය හදන්නත්, එයින් ඉතිරිවෙන අතිරික්ත විදුලියෙන් විදුලි කෝච්චි දුවන්නත් සැලැස්මක් ඉදිරිපත් කළා. ලංකාවේ තිබෙන ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කර, ආර්ථික දැක්මක් ඉදිරිපත් කළා. මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්ති කවර දිසාවකට යොමු විය යුතුද යන්න සාකච්ඡා කළා. මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යය ගමන් කළ යුතු දිසාව, සරත්චන්ද්‍රයන් නාට්‍ය කලාවේ දිසාව, ක්ලැරන්ස් සංගීතයේ දිසාව, මෙවැනි නව මානයන් එළියේ සාකච්ඡා කළා. නමුත් අපේ දේශපාලන අධිකාරිය අපව මුළුමනින්ම අතීතයේ හිරකාරයන් බවට පත් කළා. අපි නූතනත්වයේ වෙනස මගහැර ගත්තා. අද අපි ලෝකයේ හුදකලා වුණු රාජ්‍යයක් බවට පත්වෙලා. අපි වසරකට අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් උපයන විට, දකුණු කොරියාව ඩොලර් බිලියන 685යි.

මේ ගමන් කරමින් තිබෙන ආර්ථික මාවත වෙනුවට නිෂ්පාදනය කේන්ද්‍ර කර ගත්, නව ආර්ථික මාවතකට අවතීර්ණ විය යුතුයි. ඔවුන්ගේ මාවත සියල්ල විකුණන එක. ටෙලිකොම් ආයතන දැනටමත් භාගයක් විකුණලා. අයි.ටී.වලින් අපට ඩොලර් බිලියන 15ක් උපයන්න හැකියාව තිබෙනවා. අයි.ටී. කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හදන්න ඕනෙ ටෙලිකොම් ආයතනය. ආණ්ඩුව ටෙලිකොම් විකුණන්න සූදානම් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, විදුලිබල මණ්ඩලය, බලාගාර විකුණන්න සූදානම් වී තිබෙනවා. ඒක හරියි කියමින් හර්ෂ ද සිල්වා අත්පුඩි ගහනවා. නව නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය විය යුතුයි. අයි.ටී. කර්මාන්තය, සේවාවන්ගේ සංචාරක කර්මාන්තය, රටේ ඛනිජ සම්පත් උපයෝගී කරගෙන නව කර්මාන්ත අවදියකට අවතීර්ණ විය යුතුයි. අපේ රටේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණය කළ, මහාචාර්ය ඉලේපෙරුම මහතා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සහාය දීමට ලංකාවට පැමිණි බව මා හමුවේ ප්‍රකාශ කළා.

අපේ වැඩිපුරම පොර බදන අමාත්‍යාංශ, මහාමාර්ග, වරාය (වැඩිම මිලදී ගැනීම්) එයාර් ලංකා, (වැඩිම මිලදී ගැනීම්), විදුලි බල (වැඩිම බිස්නස් එක) තෙල් (වැඩිම අපනයන වියදම). මේ කියන්නේ අපේ ඇමතිවරු හැදුනේ බිස්නස් එකට. මේ රට ගුණාත්මක පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නොසලකා හරින අමාත්‍යාංශයක් වෙලා. ලෝකයේ විශාල පර්යේෂණ ආයතනවල වැඩ කරන, විශාල ප්‍රමාණයක් අපි එකතු කරමින් ඉන්නවා. ලෝකයේ පිළිකා මර්දනය සඳහා බෙහෙතක් සොයමින් ඉන්නවා. එය ඉතාමත් දියුණු අදියරක තිබෙනවා. එහි ඉන්න ලාංකිකයා අපිත් එක්ක වැඩ කරනවා. ලෝකයේ තිබෙන දැනුම, තාක්ෂණය එකතු කරන සැලැස්මක් අපි හදමින් තිබෙනවා. පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාඥයන්ගේ සමුළුවක් ලංකාවේ පවත්වන්න අපි සූදානම් කර තිබෙනවා. ඒ හරහා තමයි මේ රට පරිවර්තනය කරන්න ඕනෑ.
අපේ රටේ ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. අපේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය පොලිටිකල් කල්චර් එක. හර්ෂ ද සිල්වා කියනවා “මන්ත්‍රීවරු සොරකම් කරන එක නතර කරන්න නම්, පඩි වැඩි කරන්න ඕනෑ, තව පහසුකම් දෙන්න ඕනෑ” කියලා. මෙහි සීමාව කොතනද? දේශපාලනයට එන්නෙම එයින් ලැබෙන බලයත්, වරදාන වරප්‍රසාද ලබා ගැනීමටත්, බලය හරහා ධන උත්පාදනය කර ගැනීමටත්. හිනිදුම ප්‍රදේශයේ කැන්ටර් එකක තේ දළු පටවපු කැන්ටර් පියසේන, එම ප්‍රදේශයේ ප්‍රධාන තේ වතු හිමියා වී තිබෙනවා. අද ඇමති පියසේන. තැපැල් නයින්ටියෙන් ගමන් කළ එස්.බී. දිසානායක, හඟුරන්කෙත මන්දිරය හැදුවේ කෙහොමද?. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මාධ්‍යවේදීන් අහනවා “ඔබට ෂර්ට් එක අරන් දුන්නේ කවුද?” කියලා. හැබැයි ඔවුන්ට බැරිවෙලා තිබෙනවා “අහවල් තැන හෝටලය හදා ගත්තේ කොහොමද?” කියා ඔවුන්ගෙන් අහන්න.

2016 ප්‍රාඩෝ රථ 540ක් ගෙනැත් තිබුණා. බදු වංචාවක් තිබුණා. පරීක්ෂණයක් කරමින් තිබුණා. රවි කරුණානායක, ප්‍රාඩෝ රථ 540 නිදහස් කළා. රවි කරුණානායකගෙන් අහන්න ඕනෑ, ඇයි මෝටර් රථ නිදහස් කළේ කියලා. එයා මුදල් ඇමති කාලේ එයාගෙ කොම්පැනියට ආණ්ඩුවේ ගුදම් ගත්තා. ඒක අහන්න ඕනෑ එයාගෙන්. රනිල් වික්‍රමසිංහ කාලේ මහ බැංකුවේ වංචාවක් සිදුවුණාද නැද්ද? සිදුවුණේ නැත්නම් අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලි කෝටි 800ක් සෙන්ට්‍රල් බෑන්ක් එකේ නතර කර ගත්තේ ඇයි? හොරකමක් සිදුවුණේ නැතිනම් ඒක දෙන්න ඕනැනෙ. රනිල් වික්‍රමසිංහගේ කට්ටිය ඒ දවස්වල කියනවා “හොරකමක් සිදුවුණාට පාඩුවක් වුණේ නැහැනේ” කියලා. නාමල් රාජපක්ෂ ආවොත්, “තාමත් ඔයා ආණ්ඩුවේ ගෙදරක ඉන්නේ කොහොමද? ඔයා ඇමති කෙනෙක් නොවෙයි” අහන්න ඕනෑ. ඕවනෙ ප්‍රශ්න. අද මාධ්‍ය හමුවට එන්නේ කවුද කියනවා නම්, එයාලගෙන් අහන්න ඕන ප්‍රශ්න ටික අපි දෙන්නම්. හැබැයි අපි ගියාම අහන්නේ “ඔයාගෙ ෂේට් එක කොහෙන්ද?” කියා. අපි ඒකට සතුටු වෙනවා. මේ දේශපාලන සංස්කෘතියෙන් වෙනස් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නේ ජාතික ජන බලවේගය පමණයි.

ඔබට එක සහතිකයක් දෙන්නම්. මම හෝ ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලවල සිටින කිසිවෙක් බිස්නස් කරන්න එන්නේ නැහැ. අපි මේ රටේ යහපත් ලෙස ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට අවශ්‍ය පරිසරය හදා දෙන්නම්. ඔබ මේ රටේ ධනය උත්පාදනය කරන්න. ධනය උත්පාදනය කරන්නේ පෞද්ගලික ව්‍යවසායකයා. ආණ්ඩුව කරන්නේ උපයන ධනයෙන් ටිකක් ගන්නවා. භාණ්ඩාගාරය පුරවන්න නම්, එළියේ ධනය වැඩි වැඩියෙන් හැදෙන්න ඕනෑ. අපේ රටේ එළියේ ධනය හැදෙන්න තිබෙන ප්‍රධාන බාධාව මේ දේශපාලන සංස්කෘතිය. ස.තො.ස.ට බඩු දාන්න, ව්‍යවසායකයෙකුට ඉඩමක් ගන්න, හෝටලයට බලපත්‍රයක් ගන්න බැහැ ඇමතිවරයා හඳුනන්නේ නැති නම්. මේ පොලිටිකල් කල්චර් එකේ කුඩා කණ්ඩායමක් අත, ආර්ථිකය හැසිරවීමේ බලය සංකෝචනය වී තිබෙනවා. අපේ රටට ඍජු විදෙස් ආයෝජන ගලාගෙන එන්නේ නැහැ. 1978 සිට 2022 දක්වා ඇවිත් තිබෙන විදෙස් ආයෝජන ඩොලර් බිලියන 22යි. 2022 වසරේ පමණක් වියට්නාමයට ඩොලර් බිලියන 23ක් පැමිණ තිබෙනවා. අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීවරුනට පර්මිට් නැහැ. මන්ත්‍රී ධුරය දරන කාලයට වාහනයක් දෙනවා. සේවා කාලය අවසානයේදී එයා වාහනය දී ගෙදර යන්න ඕනෑ. නිවාස දීම, ජනාධිපති මන්දිර නඩත්තු කරන එක, විශ්‍රාමික ජනාධිපතිවරු බලාගන්න එක නතර කරන්න ඕනෑ. මේ දේශපාලන සංස්කෘතිය නතර කිරීම අපට පැවරුණු වගකීමක්. දේශපාලකයා නීතියටත්, පුරවැසියාටත් වඩා උඩින් ඉන්න කෙනෙක් වෙන්න බැහැ. මිනිසුන් අතරින් වැරදි වෙන්න පුළුවන්. සිදුකරන වැරදිවලට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.

අපි හරිටම කේන්ද්‍රය ප්‍රශ්න කරන්න ඕනෑ. සත්‍ය සහ බොරුව අතර ප්‍රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්‍රශ්නය, අනුගමනය කරන පැරණි ආර්ථික ප්‍රතිපත්තිය සහ නව ආර්ථික ප්‍රතිපත්තිය අතර ප්‍රශ්නය, කේන්ද්‍රගත කරන්න ඕනෙ. විශාල මෙහෙයුමක් ගියාට අපිව ව්‍යාකූලත්වයට පත්කරන්න ඉඩ දෙන්න එපා. ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔබ කියන දේට ඇහුම්කන් දෙන විශාල කණ්ඩායමක් ඉන්නවා. ඔබට සමාජයේ විශාල බලයක්, වගකීමක් සහ ගරුත්වයක් තිබෙනවා. ඔබට තිබෙන ගරුත්වය උපයෝගී කර ගනිමු මේ දේශපාලනය පරිවර්තනය කිරීම වෙනුවෙන්. මේ පරිවර්තනයේ සක්‍රීය කොටස්කරුවෙක්, ඉදිරිගාමී කොටස්කරුවෙක් වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ රට මීට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කරන්න මේ පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න, ක්‍රියාකාරී වෙන්න. මීට වඩා හොඳ රටක් බවට පත් කරන්න, පුරවැසියන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබාදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. යහපත් දේද, අයහපත් දේද, සත්‍යයද බොරුවද අවංකභාවයද ව්‍යාජත්වයද යන්න අපට තෝරා ගැනීමක් අප ඉදිරියේ තිබෙනවා. නිවැරදි තෝරාගැනීම වෙනුවෙන් අපි එකතු වෙමු.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *