Latestදේශීය

පාස්කු ප්‍රහාරයෙන් වසර 5කට පසු තිළිණා මියයයි

(කොච්චිකඩේ විශේෂ – ඩී. මිහිඳුකුල)

පාස්කු ඉරු දින කටුවපිටිව දේවස්ථානයට එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා රෝගීව වසර 05ක කාලයක් එක්තැන්ව සිටි තිළිණා හර්ෂණී අප්පුහාමි මහත්මිය පසුගිය 27 දින මිය ගියාය. දරුවන් තිදෙනකුගේ මවක් වන ඇය මිය යන විට 39 හැවිරිදි වියේ පසුවූවාය. ඇය මීගමුව විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සේවිකාවකි.

බෝම්බ ප්‍රහාරයෙන් දුලෝද් ඇන්තනී නමැති දරුවා ප්‍රහාරය එල්ලවුණු දිනම මියගොස් තිබිණි. තිළිණා හර්ෂණී අප්පුහාමිගේ මහත්මියගේ වැඩිමල් දියණිය වූ ළයාරා ඇන්තනී මෙසේ පැවසීය. “එදා මමයි ලොකු මල්ලියි පොඩි මල්ලියි අම්මයි ආච්චියි පූජාවට ගියා. එතැනදී ලොකු ශබ්දයක් ඇසුණා. ඊට පස්සේ මට මල්ලිවයි අම්මවයි පෙනුණේ නෑ. චූටි මල්ලිවයි ආච්චිවයි මම දැක්කා. එතකොට ආච්චි ඇවිත් මාව නැඟිට්ටෙව්වා. පස්සේ ආච්චි මාවත් චූටි මල්ලිවත් එළියට අරගෙන ඇවිත් එළියේ හිටිය සීයාට දුන්නා. මම දැක්කා ආච්චි කෑ ගහගෙන අම්මා ළඟට දුවගෙන එනවා. අම්මගේ එක ඇහැක් එළියට ඇවිල්ලා තියෙනවා මම දැක්කා. ඊට පස්සේ චූටි මල්ලිවයි මාවයි ඉස්පිරිතාලේ අරගෙන ගියා. අම්මාවත් ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිහිල්ලා තිබුණා. මමයි චූටිමල්ලියි ආච්චියි ගෙදර ආවට පස්සේ තමා ලොකු මල්ලි නැති වෙලා කියලා දැනගත්තේ. එදා සිට අපේ අම්මා රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටියා.”

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *