Latestදේශීය

යල කන්නයේ වී වගාව සදහා රුපියල් බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට

2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබා දෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ගොවීන් 213,771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවිගිණුම් ගත කර තිබේ. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කෙරේ යැයි අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය රුපියල්  බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව වගා කටයුතු අවසන් කර ඇති සෑම ගොවියෙකුටම මෙම මුදල් ගිණුම්ගත කිරීමේ විධිමත් තොරතුරු හා දත්ත පද්ධතියක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇත.

මේ අතර බොහෝ ගොවීන් තම වී වගාවන්ට යුරියා පොහොර පමණක් යොදන බවට තොරතුරු ලැබී ඇත. ඔවුන් MOP හෙවත් බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් කරළ් මෙන්ම වී ඇට ද සම්පූර්ණ නොවන බවත්, බන්ඩි පොහොර නොයෙදීම නිසා අස්වැන්න අඩු විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම බන්ඩි පොහොර නොයෙදීම නිසා මූල පද්ධතිය ශක්තිමත් නොවීම හේතුවෙන් ගොයම් කහවීම වැනි තත්ත්වයන් ද උද්ගත විය හැකිය.

එමනිසා රජය විසින් ලබා  දෙන සහනාධාර මුදල් භාවිතා කරමින් යුරියා පොහොර නොව බණ්ඩි පොහොර ගොයමට යෙදීමට කටයුතු කරන්නැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

දැනට අවශ්‍ය තරම් බන්ඩි  පොහොර රජය සතු පොහොර සමාගම් දෙක මගින් දිවයින පුරා බෙදා හැර ඇති අතර පුද්ගලික අංශය ද බන්ඩි පොහොර හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇත.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *