Latestදේශීය

හඬ රංගේගෙ, උවමනාව රනිල්ගෙ – විජිත හේරත්

“රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය හා උපදෙස් මත තමයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ. මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. ඉතිහාසයෙත් ඔහුට ජනවරමක් තිබුණේ නැහැ. ඔහුට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්කමක් කවදාකවත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන එකක් තමයි 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් පරාදයි කියන එක.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (29) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්,

“එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, රංගේ බණ්ඩාර (28) කරන ලද හදිසි ප්‍රකාශය පිළිබඳව අපේ ස්ථාවරය ජනතාව හමුවේ තැබීමට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. 2024 නොවැම්බර් 17 දිනයෙන් එම වසර පහක කාලය අවසන් වෙනවා. ඒ අනුව ව්‍යාවස්ථාවෙම සඳහන් වෙන්නේ ඊට මසකට පෙරාතුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි කියලා. දැනටමත් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා ලබන සැප්තැම්බර් මස 17වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර ජනාධිපතිවරණය පවත්වනවා කියලා. මීට පෙර 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වුණා. ව්‍යවස්ථානුකූලව ඔහුගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ අතරමඟදී ධුරය අත්හැර ගිය නිසා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට තමයි, පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාව තෝරා පත්කර ගත්තේ. නීත්‍යානුකූලව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ සිටිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ සඳහා වෙන්වුණු අවුරුදු පහ සීමාව දක්වා පමණයි. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වුණාට පස්සේ ඔහුට අවසන් කිරීමට බැරි වුණු ඉතිරි කාලය සඳහා පමණයි රනිල් වික්‍රමසිංහට අනුප්‍රාප්තික ජනාධිපති ලෙස කටයුතු කළ හැක්කේ. එදිනෙන් ඉදිරියට එක දවසක් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එම ධුරයේ ඉන්න බැහැ. ඔහු ජනතාවගෙන් පත්නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර ගත හැක්කේ ඊට පෙරාතුව සිටි ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම දක්වා පමණක් බව.

රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම, අවබෝධය හා උපදෙස් මත තමයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ. මේකේ තීන්දුව ගන්න කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු දන්නවා ඉතා පැහැදිලිව දැන් ඔහුට ජනවරමක් නැහැ. ඉතිහාසයෙත් ඔහුට ජනවරමක් තිබුණේ නැහැ. ඔහුට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්කමක් කවදාකවත් ලැබුණේ නැහැ. ඔහු හැමදාම පරාජිත අපේක්ෂකයා බවට පත්වුණා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියන එක ඉතා පැහැදිලිව තේරුම් අරගෙන තිබෙනවා. රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන එකක් තමයි 2024 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් පරාදයි කියන එක. ඒනිසා තමයි මෙවැනි සෙල්ලම් දාන්න පටන් ගන්නේ. ජේ.ආර්. ජයවර්ධන එදා 1982 ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනාවෙත් 1983 පවත්වන්න තිබුණු මහ මැතිවරණය වළක්වලා පාර්ලිමේන්තු ධුර කාලය අවුරුදු හයකට දික්කිරීම සඳහායි. ඒ ලාම්පු – කළගෙඩි සෙල්ලමේ දෙවැනි ජවනිකාව තමයි රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාර හරහා මේ එළිදක්වා තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අඩු කරනවා නම්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් කර ගැනීමට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015දී තේරී පත්වුණේ අවුරුදු හයකටයි. නමුත් පාර්ලිමේන්තුවේ 19 සංශෝධනය සම්මත වුණාට පසුව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද අනුමැතියකින් ඔහුගේ ධුර කාලය අවුරුදු පහකට අඩු වුණා. හැබැයි ධුර කාලය දික් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ප්‍රමාණවත් නැහැ. ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඒක තමයි ව්‍යවස්ථාව, එක තමයි නීතිය. රනිල් වික්‍රමසිංහ මේ උපදෙස් දෙන්නේ මේ ව්‍යවස්ථාව ගැන දන්නේ නැතිවද? මේ දෙන්නාම ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාව ගැන දැනුවත්වම තමයි මේ ප්‍රකාශය කරන්නේ.

මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක්. මේ සමාජයේ මත දැක්වීම කොහොමද කියා බැලීමක්. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු රනිල් වික්‍රමසිංහ, ඉදිරි ජනාධිපතිවරණයේදිත් පරාජය වෙන බව දැනගත් නිසාම තමයි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනි කියන එක දැන දැනම කරපු ප්‍රකාශයක්. රටේ ජනතාවත් විදේශයන්හි සිටින අපේ ජනතාවත් පෙළගැසී ඉන්නවා, ජන මතයක් නැති රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා නව ජනාධිපතිවරයෙක්, නව ආණ්ඩුවක්, නව ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟන්න. ඔවුන්ගේ පැත්තෙන් මේ උත්සාහ කරන්නේ මේ ඇතිවෙන ජන පෙළගැස්ම, ජන මතය අවුල් කරන්නයි. මීට පෙරාතුව ඔබ දැක්කා මහ මැතිවරණයක් ගැන කතාවක් ඇති කළා. මැයි 15දා පාර්ලිමේන්තුව විසුරුවනවා යනුවෙන් මතයක් හැදුවා. ඉන්පසුව ලබන මාසෙ 15දා විසුරුවනවා කිවුවා. පාර්ලිමේන්තුව විසුරුවනවා කියන කොටම ජනතාවගේ අරමුණ අවුල් වෙනවා. අරමුණම තිබෙන්නේ මේ ජනමතය අවුල් කරන්න. මෙය කරන්නේ හිතාමතා. ජනාධිපති ධුර කාලය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයකින් සහ ජනමත විමසීමකින් තොරව කරන්න බැහැ කියන එක එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හොඳින්ම දන්නවා.

එක්සත් ජාතික පක්ෂයේ කවුද, මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ස්ථිර කරන්නේ. පොදු ජන පෙරමුණ කියනවා මේක කියන මිනිහාත් මෝඩයෙක් කියලා. රංගේ බණ්ඩාර මෝඩයෙක් කියන එක කාරියවසම් කියනවා. ඒ ගොල්ලන් විරුද්ධ බව පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයත් විරුද්ධ බව කියා තිබෙනවා. සමගි ජන බලවේගයත් විරුද්ධ බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෙත් එක මන්ත්‍රීවරයායි. ගාල්ලෙ මන්ත්‍රීවරයා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවම ස්ථිර කරන්නවත් පුද්ගලයෙක් නැහැ. රනිල්ගේ වුවමනාවට වජිර අබේවර්ධනට හැකියි මෙය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. නමුත් ස්ථිර කර ගන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. සියලුම පක්ෂ කියා තිබෙනවා මෙයට විරුද්ධ බවත් අනුමත කළ නොහැකි බවත්. මේ රටේ මැතිවරණ සිතියම අකුළපු ජේ.ආර්.ගෙන් ආ ලාම්පු-කළගෙඩි සෙල්ලම තමයි මේ. මේ රටේ ජනතාවත් මේකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළත් මේකට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. මේක සාහසික උත්සාහයක් හා ප්‍රකාශයක්. මෙවැනි දේවල්වලින් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය වළක්වන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. ජනමත විචාරණ කතා දමා ජනාධිපතිවරණය සඳහා ජනතාවගේ පෙළගැස්ම ආපසු හරවන්න බැහැ.

මේ හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහටයි. රංගේ බණ්ඩාරට මීට කලිනුත් රනිල් වික්‍රමසිංහ කියා තිබුණා මේ යෝජනාව ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවටත් ටොපියක් දාලා බලනවා. පාර්ලිමේන්තු කාලය අවුරුදු දෙකකට දික්කර ගත්තොත් මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් එක ගන්න පුළුවන්. රංගේ බණ්ඩාරලා හිතනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීලා ඒගොල්ලන්ගේ අත උස්සගෙන ජනාධිපති පුටුවේ තව අවරුදු දෙකක් ඉනන පුළුවන් කියලා. පරාද වුණු රංගේ බණ්ඩාරලා, රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා, එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙළේ සාමාජිකයෝ පරාජිත අපේක්ෂකයෝ. ඒ අය ජනාධිපති උපදේශක තනතුරු අරගෙන, වාහන, දීමනා අරගෙන වරප්‍රසාද භුක්ති විඳිනවා. ඒ වරප්‍රසාද නැතිවෙනවා කියා බයවෙලා කළබල වෙලා ඉන්නේ. මේ ජනාධිපති ධුරය දික්කරගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් දීලා අල්ලස් දීලා අත උස්සගෙන මේ හදන්නේ තමන්ගේ උපදේශක පට්ටම් ටික තව අවුරුදු දෙකක් දික්කර ගන්න. මේ රටේ ජනතාව ඒකට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ.

මේ ප්‍රකාශ හරහා ජන මනස අවුල් කරන්න හදනවා නම් ඒකට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනතාව මේ යෝජනාව අනිවාර්යයෙන් පරාජය කරනවා. ජාතික ජන බලවේගයේ අපි ජනතාවට කියනවා, මෙවැනි ජන මනස අවුල් කරන ප්‍රකාශවලට අහුවෙන්න එපා. එසැණින්ම එය ප්‍රතික්ෂේප කර දමන්න. ඔවුන්ගේ වුවමනාව ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ජන පෙළගැස්ම අවුල් කරන්න, බොඳ කරන්නයි. ඔවුන්ට අවශ්‍ය මේක අවුරුදු දෙකකට දික්කර ගන්න නම්, රනිල්ට තිබෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ ජනමතය රනිල්ට තිබෙනවා කියා ඔප්පු කර ගන්න. ඒකට වෙනම ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම ජනමතයක් රනිල්ට නැහැ. රංගේ බණ්ඩාර කියන්නේ ජනාධිපතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් තියන්න මහජන මුදල් වියදම් වෙන බව. ජනමත විචාරණයක් තිබ්බත් ජනතා මුදල් තමයි වියදම් වෙන්නේ. රනිල්ට අවස්ථාවක් තව ලබා දෙන්න කියනවා නම්, ජනතාව ඉදිරියට ඇවිත් ජනාධිපතිවරණය මුහුණ දීලා ඒ අවස්ථාව ලබා ගන්න. අපට විශ්වාසයි මේ ජනතා ද්‍රෝහී රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට ජනතාව ජනමතය දෙන්නේ නැහැ. ආණ්ඩුව පරද්දන්න සූදානමින් ජනතාව පෙළ ගැසී ඉන්නේ. මේ ජනතාවත් එක්ක විහිළු කරන, ව්‍යවස්ථාව විහිළුවට ගන්න අවස්ථාවක් නොවෙයි. මේ ජනතාව ඉන්නේ මේ රටේ ආර්ථිකයේ, දේශපාලනයේ මුළුමනින්ම වෙනස් කිරීමේ ගැඹුරු වුවමනාවකයි. ජනතාව තුළ මත හදලා මේක බොඳ කරන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. ජනතාවට කියනවා එවැනි විකාර කතාවලට රැවටෙන්නත් එපා. මේවා ගණන් ගන්නත් එපා. ජනතාව ඉන්නේ මේ ජනාධිපතිවරයා ගෙදර යවන්න. ඒ සඳහා සූදානම් වෙන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා.”

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවොත්, ඔවුන්ට පොහොට්ටුවේ සහාය ලැබෙන නිසා මේක තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගත්තොත් එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස අධිකරණයට යාමට බලාපොරොත්තු වෙනවාද? ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

පිළිතුර: යෝජනාව ඉදිරිපත් කළ හැක්කේ වජිර අබේවර්ධනටයි. ස්ථිර කරන්න කෙනෙක් දැනටත් නැහැ. පොහොට්ටුවේ ලේකම්, කාරියවසම් පැහැදිලිවම කිවුවා, ඡන්ද සිතියම අකුළන එකට ඔවුන් විරුද්ධ බවත් එහෙම යෝජනා කරන කෙනා මෝඩයෙක් කියලත්. මෝඩයෙකුගේ යෝජනාවකට අත උස්සයි කියා අපි හිතන්නේ නැහැ. තුනෙන් දෙකෙන් සම්මත වුණොත් තිබෙන්නේ ජනමත විචාරණයක්. ජනාධිපතිවරයෙකුට මන්ත්‍රීවරයෙකු හරහා එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වුවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එවැනි යෝජනාවක් ගේන්න නෛතික හැකියාවක් නැහැ. එවැනි දෙයක් කරන්න සූදානම් වුවහොත් අදාළ නීතිමය ක්‍රියාමාර්ග අපි ගන්නවා.
ප්‍රශ්නය: සමගි ජන බලවේගය විවාදයට දින යෝජනා කර තිබුණත් ඔවුන් ඉල්ලන්නේ මුලින්ම ආර්ථික කමිටුවේ විවාදයක් පවත්වන ලෙසයි. ඔබලා ඉන්නේ නායකයන් අතර විවාදය මුලින්ම පවත්වන්න ඕන කියලද?

පිළිතුර: ජනාධිපතිවරණයක් තියෙනවා. ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක්. ඒ කියන්නේ පක්ෂ නායකයන් දෙන්නෙක්. ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් මේ විවාදය පැවැත්විය යුත්තේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරයි. ආර්ථිකය ගැන කතා කරන්න සජිත්ට බැහැයි කියලා ඔවුන් කියනවාද? ආර්ථික කමිටුව අවශ්‍ය ඒකටද? සජිත්ට ආර්ථිකය ගැන කතා කරන්න බැරි ඇයි? අපි මේ අපේක්ෂකයො හැටියට විවාදයට එන්න කියන්නේ ආගිය තොරතුරු කතා කරන්න නොවෙයි. ජනාධිපතිවරණයක් නම් තියෙන්නේ ආර්ථිකය ගැන, දේශපාලනය ගැන, කතා කරන්න. ඔවුන් හයවැනිදා දිනය දුන්නා. අපි එකඟ වුණා. අනුර සහෝදරයා එයට සූදානම්. සජිත්ට ආර්ථිකය ගැන කතා කරන්න බැරි නම් ඒක විවෘතව කියන්න. අනුර සහෝදරයා එන්නේම ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න. ආර්ථිකය, දේශපාලනය පිළිබඳව කතා කරන්න. අපි විවාදයට ලැහැස්තියි. ඔවුන්ට තියෙන්නෙ අභියෝගය බාර ගන්න.

ප්‍රශ්නය: දැන් විවිධ සන්ධාන හැදෙමින් තිබෙනවා. මේ සන්ධාන ජාතික ජන බලවේගයට අභියෝගයක් වෙන්නේ නැද්ද?

පිළිතුර: දේශපාලනයේ අනාථ වෙච්ච, වැලේ වැල් නැතිව පාරාජිකා වෙච්ච අය ගොඩක් ඉන්නවා. යනඑන මං නැතිව ඉන්නවා. ඒ අයට පාර්ලිමේන්තුවට එන්න මොකක් හෝ පාරක් සොයා ගන්න ඕනෑ. එක එක උප්පරවැට්ටි දාලා එක එක අට්ටාල ගහනවා. සාමාන්‍යයෙන් මේවා මැතිවරණ කාලයට සිදුවෙන දේවල්. ජාතිවාදය පාවිච්චි කරලා, ගෝඨාභයගේ නෂ්ටාවශේෂ ටික අරගෙන, ජාතිවාදය කරපින්නාගෙන අනාථ වුණු කණ්ඩායම් අට්ටාල හදා තිබෙනවා. ඒවා ජනතාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය: හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා එන්.පී.පී. එකට රට දුන්නොත් රට නරක තැනකට වැටෙනවා කියලා. ඔහු කියන්නේ එන්.පී.පී. එකේ සහ ජේ.වී.පී. එකේ මතවාදය වෙනස්, එහෙම වුනොත් යම් ඝට්ටනයක් ඇති විය හැකියි. එන්.පී.පී. එකට යම් විදිහකින් බලය ලැබුණොත් එය රටට ගොඩක් අහිතකරයි කියන තැන ඔහු පැහැදිලි කිරීමක් කරනවා. ඒ ගැන ඔබලාගේ අදහස කුමක්ද?

පිළිතුර: ජනතා විමුක්ති පෙරමුණත්, මේ රටේ ප්‍රගතිශීලී සංවිධාන ගණනාවක් එකතු වෙලා පුළුල් ජනතා බලවේගය වුණු ජාතික ජන බලවේගය අපි ගොඩනඟා තිබෙනවා. ඒකෙ වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි අතර කිසිදු හෝ පරස්පරයක් නැහැ. පරස්පරය තිබෙන්නේ ඒගොල්ලන් ළඟ. හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළා තමන්ගේ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියක්. බ්ලූ ප්‍රින්ට් එකක්. නාලක ගොඩහේවා ඒ කණ්ඩායමේ ඉඳගෙන කියනවා ඒක සජිත් අනුමත කරපු පක්ෂයේ ප්‍රතිපත්තිය නොවෙයි කියා. මේක තමයි විහිළුව. ඔවුන් අතර එකඟතාවයක් නැහැ. අපට කියන්න එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි අතර වෙනස මොකක්ද? ස.ජ.පෙ. කියන්නෙම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති කර පින්නාගෙන යන තවත් කණ්ඩායමක් විතරයි. දැන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඒගොල්ලන්ට බේරා ගන්න බැරිව තිබෙනවා. එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකකදී ඔවුන්ගේ පක්ෂයේම දෙන්නෙක් අදහස් දෙකක් කියනවා. පරස්පරය තිබෙන්නේ ඒගොල්ලන් අතර. බෙදීම් තිබෙන්නේ ඒගොල්ලන් අතර. ජාතික ජන බලවේගය කණ්ඩායමක් විදිහට මේ රටේ ඉතාමත් ශක්තිමත්, සංවිධානාත්මක බලවේගයක් වෙලා තිබෙනවා. මෙතන කිසිදු බේදයක් නැහැ. ජාතික ජන බලවේගය සම්පාදනය කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබෙනවා. වැඩපිළිවෙළක් තිබෙනවා. අපි සියලුම දෙනා එකතු වෙලා ජනතාව වෙනුවෙන් මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නගලා රට ගොඩනඟනවා

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?