Latestදේශීය

සර්වජන බලයෙන් රටම කැළඹිලා,සතුරෝ වියරු වැටිලා – විමල් වීරවංශ

“සර්වජන බලය” එකමුතුවේ දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ ඉදිරි මාසය තුළ රට හමුවේ තබා නව දේශපාලන සංවාදයකට මුල පුරන බවත් එම දේශපාලන සංවාදය අද “ඔත්පල වී ඇති අපේ රට”, “ව්‍යසනය ජීවිතය බවට පත්ව ඇති අපේ රට” ඉන් මුදවා ගැනීමට ඉවහල් වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඒ මහතා එසේ අවධාරණය කළේ බොරැල්ලේ පිහිටි “සර්වජන බලය” ප්‍රධාන කාර්යාලයේදී පැවති එහි ප්‍රථම නායකත්ව මණ්ඩල මාධ්‍ය හමුව අමතමිනි.

මෙම මාධ්‍ය හමුවට මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

කැලඹීමේ තරම…

“ඇත්තෙන්ම අපිවත් බලාපොරොත්තු වුණේ නැහැ ‘සර්වජන බලය’ එකමුතුව නිර්මාණය වූ පසුව දේශපාලන භූමියේ මේ තරම් බලසම්පන්න කැලඹීමක් ඇතිවෙයි, කියා. ඊට එරෙහිව අපේ ප්‍රතිවාදීන් එල්ල කරන වියරු ප්‍රහාරයන් සහ අපේ මිත්‍ර පාර්ශ්වයන් අපට කරන දිරිගැන්වීම්වලින් එය හොඳින්ම පැහැදිලි වෙනවා. ‘සර්වජන බලය’ නිර්මාණය වූයේ තිබුණු ‘දේශපාලන රික්තකයක්’ පුරවන්නයි. දක්ෂිණාංශික සහ වාමාංශික ලිබරල්වාදී දේශපාලන කඳවුරට එරෙහි මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා, වැටී තිබෙන රට සැබෑ ලෙසම නඟාසිටුවිය හැකි, මේ රට කවර හෝ විදේශීය බලවේගයක ගොදුරක් බවට පත් නොකරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වන තෙක් බලා සිටියා. ඒ අඩුව පිරවිය හැකි දේශපාලන ව්‍යාපාරයක් මෙරට දේශපාලන භූමියේ නිර්මාණය වී තිබුණේ නැහැ. ඒ ‘දේශපාලන රික්තකය’ පුරවමින් තමයි ‘සර්වජන බලය’ නිර්මාණය වූයේ.

“රංගේ බණ්ඩාරගේ කතාවේ තේරුම”

අපි කවුරුත් තේරුම් ගත යුතුයි, මේ වන විට ආණ්ඩුව සිටින්නේ සිය පැවැත්මේ අවසාන කාලපරිච්ඡේදය ගෙවමින් බව. ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගේ බණ්ඩාර මහතා ලවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරවන්නට ඇත්තේ එහෙම ප්‍රකාශයක් හෝ නොකළහොත් ජනාධිපතිවරණය ආසන්න වන විට රාජ්‍ය සේවකයන් වැඩ නොකර සිටින බව දන්නා නිසයි. ජනාධිපතිවරණය ආසන්න වන විට රාජ්‍ය සේවකයා වැඩ නොකරන, ජනාධිපතිවරයා නොසලකා හරින මානසිකත්වය වෙනස් කරවන්නට නම් මෙහෙම ප්‍රකාශයක් හෝ කළ යුතුව තිබෙනවා.

ජනපති රනිල්ගේ දේශපාලන ප්‍රාණය අවසන් වෙයි ද?

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතේ සම්මත කරගැනීමට රටට ඉතාමත් හානිකර, ප්‍රතිගාමී අණපනත් ගණනාවක් තිබෙනවා; රාජ්‍ය සේවකයා මත බලෙන් පැටවීමට වැඩපිළිවෙළක් තිබෙනවා; බෙදන්න බඩු කන්දරාවක් තියෙනවා. මේ සියල්ල කරගන්න නම් රාජ්‍ය සේවකයා තවදුරටත් අවනත කරගන්න ඕනේ. හැබැයි තව මාස කීපයකින් සිය ධුර කාලය අවසන් වන, දේශපාලන ප්‍රාණය අවසන් වන ජනාධිපතිවරයකුගේ අණ, විධාන, නියෝග පිළිපදින රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ තත්ත්වය වෙනස් කරගන්න මෙවැනි ප්‍රකාශයන් සිදුකරන බවයි අපගේ අදහස.

අපේ වැඩපිළිවෙළ තව මාසයකින්…

‘සර්වජන බලය’ තමන්ගේ ගමන ආරම්භ කළා පමණයි. තව මාසයක් තුළ අපේ ඉදිරි දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ රට හමුවේ තබන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපි නව දේශපාලන සංවාදයකට මුල පුරනවා. එම නව දේශපාලන සංවාදය, අද ‘ඔත්පල වී ඇති අපේ රට’, ‘ව්‍යසනය, ජීවිතය බවට පත්කර ඇති අපේ රට’, ඉන් මුදා ගැනීමට ඉවහල් වේවි, කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ සමඟ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනහිතකාමී සියලු ජනතාව එක් වෙයි, කියා විශ්වාසයක් අපි හමුවේ පවතිනවා. ඒ විශ්වාසය සමඟ අපි ඉදිරියටම යමින් තිබෙනවා.

“සර්ව ජනතාවගේ නායකත්වය”

අපේ එකමුතුව බිඳින්න, පලුදු කරන්න එක් එක් පාර්ශ්වයන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. නමුත් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. සිදුවන්නේ මේ එකමුතුව තව තවත් ශක්තිමත් වන එක; තව තවත් පුළුල් වන එක. ඒ වගේම ඉදිරියේදී ‘සර්වජන බලය’ සමඟ මෙතෙක් එක් නොවූ දෑහිතකාමී බලවේග එක් වේවි, කියන විශ්වාසයත් අපට තිබෙනවා. සර්ව ජනතාවගේ බලයයි මේ තිබෙන්නේ; සර්ව ජනතාවගේ එකමුතුවයි මේ තිබෙන්නේ. සර්ව ජනතාවගේ නායකත්වයයි මේ තිබෙන්නේ. ඒ නිසා ’සර්වජන බලය’ සමඟ කිසිදු ජාතිකත්ව හෝ ආගම් භේදයකින් තොරව අත්වැල් බැඳගන්නා ලෙස අපි මේ රටේ සියලු ජනතාවගෙන් ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?