Latestක්‍රීඩාදේශීය

තරුෂිට රන් පදක්කම් දෙකක්

(ප්‍රින්ස් ගුණසේකර)

තායිවාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ දී කාන්තා මීටර් 400 රන් පදක්කම තත්පර 52.48කින් දිනාගත් තරුෂි කරුණාරත්න ඊයේ පැවති මීටර් 800 තරගය මිනිත්තු 2:05.74කින් නිමකොට තවත් රන් පදක්කමක් දිනා ගත්තාය.

මේ ජයග්‍රහණ සමඟ තරුෂි ජාත්‍යන්තර මලල ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ 59 වැනි තැනට උසස් වූවාය. ඇය මේ මස 31 වැනි දිනට පෙර ලොව මීටර් 800 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ මුල් 48 දෙනා අතරට පැමිණියහොත් පැරිස් ඔලිම්පික් උලෙළෙට සුදුසුකම් ලබාගනු ඇත.

පිරිමි මීටර් 400 අවසන් මහා තරගයේදී අරුණ දර්ශන තත්පර 47.49කින් පෙරමුණට පැමිණ රන් පදක්කම දිනා ගත්තේය. ඊයේ පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ තරගයේදී දිල්හානි ලේකම්ගේ මීටර් 52.79කින් රිදී පදක්කම හා කාන්තා මීටර් 1500 ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න මිනිත්තු 4:24. 66ක කාලයකින් රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය. මේ අතර නදීශා රාමනායක තත්පර 53.93ක කාලයකින් කාන්තා මීටර් 400 ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් වූවාය.

අසනීප තත්ත්වයක් බව පවසා පිට පිට ජාත්‍යන්තර තරගාවලි 3කට සහභාගී නොවූ මීටර් 800 ආසියානු ශූරී තරුෂි කරුණාරත්න මීටර් 400 හා මීටර් 800 රන් පදක්කම් දිනා ගැනීමෙන් වැඩි අවධානයක් යොමුව තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?