Latestවිදේශීය

ඉන්දියාව නැවතත් මෝදිට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලැබූ මැතිවරණ ජයග්‍රහණයත් සමඟ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත් ඒ අනුව තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

තෙවැනි වතාවටත් ඉන්දීය මහ මැතිවරණය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය කිරීමේ සතුට සමරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනතාව ඇමතූ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවත්ය.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණය ජයග්‍රහණය කළත් පක්ෂයක් ලෙස 18 වැනි ලොක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකියාවක් ලැබී නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

2019 වසරේදී පැවැති මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය සියයට 37.36ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ආසන 303 ක් දිනා ගැනීමට සමත් වූවේය.එම ඡන්ද ප්‍රතිශතය 1989 වසරෙන් පසුව මහ මැතිවරණයකදී පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද විය.

ලොක් සභාව තුළ ආසන 400 දිනා ගැනීමේ අරමුණින් ඡන්ද සටන ඇරඹුවත් ප්‍රකාශිත සහ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල මත භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 300 ආසන්නයට පැමිණ සෑහීමකට පත්වීමට සිදුවිය.රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ “ඉන්දියා” සන්ධානය මෙවර මැතිවරණයේදී කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියේය.

ඉන්දීය මහ මැතිවරණයේ ආසන 440 ක නිල ඡන්ද ප්‍රතිඵල ඊයේ(04) රාත්‍රිය වනවිට ප්‍රකාශයට පත්වී තිබූ අතර ඉන් භාරතීය ජනතා පක්ෂයට ආසන 209 ක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේය.ඉන්දීය කොංග්‍රස් පක්ෂය ආසන 80 ක් ජයග්‍රහණය කළ අතර සමාජවාදී පක්ෂය ආසන 33 ක් ජයග්‍රහණය කළේය. එසේම ත්‍රිනමුල් කොංග්‍රසය ආසන 22 ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙවර මහ මැතිවරණය අදියර 7 කින් පැවැති අතර ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 911.9ක් ලියාපදිංචිවී සිටියේය. අදියර 7 අවසානයේ මිලියන 644.08 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 61.63 ක් විය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පසුගිය 1 වැනිදා අවසන් වූ අතර ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඊයේ(04) උදෑසන 8 ට ආරම්භ වූවේය.ආසන 543 කින් යුත් ලොක් සභාවේ බහුතර බලය හිමිකර ගැනීම සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබූ නමුත් තනි දේශපාලන පක්ෂයකට එම කඩඉම පසු කිරීමට මෙවර නොහැකි විය.

ඒ අනුව ප්‍රකාශිත සහ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ලොක් සභාව තුළ ආසන 292 ක් ලබා ගනු ඇති බවත් රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ “ඉන්දියා” සන්ධානය ආසන 234 ක් ලබා ගනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පුරෝකථනය කළහ.එසේම භාරතීය ජනතා පක්ෂය තනිව ලොක් සභාව තුළ ආසන 240 ක් හිමිකර ගනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පුරෝකථනය කළහ.

ඊයේ(04) රාත්‍රී 10.30 වන විට තවත් ආසන 103 නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට ඉතිරිව තිබිණි.

මෝදිට බහුතරය තියෙනවා

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී සිටී.

ඉන්දීය මහ මැතිවරණය පැවැත් වූයේ ලොක් සභාවේ ආසන 543 සඤහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණු අතර, මෝදි සහ ඔහුගේ පක්ෂය අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ ආසන 297 ක් දිනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොග්‍රස් පක්ෂය’ අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය දිනා ගෙන ඇත්තේ ආසන 213 කි.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මෝදිගේ මෙවර ඉලක්කය වූයේ පාර්ලිමේන්තුවේ ආසන 400 සීමාව පසු කිරීමටය. එම ඉලක්කය කරා යෑම මෝදි සහ ඔහුගේ පක්ෂයට ගැටලුවක් වී තිබේ.

(එන්.ඩී.ටීවී.)

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?