Latestදේශීය

රනිල් බූවල්ලෙක් කරන්න පනත් සම්මත කරන්නයි හදන්නේ – උදය ගම්මන්පිල

තමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි බලතල තව දුරටත් වැඩි කිරීමට උත්සහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ආණ්ඩුව විසින් ගෙන එන ලද ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සදහා ”සර්වජන බලය” සන්ධානය විසින් කටයුතු කල අවස්ථාවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගමම්න්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු යැයි කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් පාර්ලිමේන්තුවටත් අණ පනත් ගෙන එමින් පාර්ලිමේන්තුවේ බලයත් උදුරාගෙන අර ඔහු විසින් අහෝසි කරන්න ඕනේ යැයි කියපු විධායක ජනාධිපති ධූරය තවදුරටත් ශක්තිමත් කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.

මේ ඉදිරිපත් කරලා තියෙන ආර්ථික පරිවර්තන පනත ගත්තොත් වාණිජ අමාත්‍යාංශය, ආයෝජන අමාත්‍යාංශය වැනි විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සතු බලතල සහ මුදල් අමාත්‍යවරයා සතු බලතල සියල්ලම ජනාධිපතිවරයාට හුවමාරු කිරීමයි මෙමගින් සිද්ධ වෙන්නේ.

මේ පනත් කෙටුම්පත හරහා අලුත් ආයතන අටක් බිහිකරනවා. මේ ආයතන අටම ඒ ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් වෙනුවට ඍජුවම ජනාධිපතිවරයාට වග කියනවා.

මේ පනත් කෙටුම්පත් සම්මත වුනොත් මෙරට බිහිවන ජනාධිපතිවරයා හරියට බූවල්ලෙක් වගේ. ආර්ථිකය සිසාරා පැතිරුණු සෑම ක්ෂේත්‍රයකම බූවල්ලාගේ අඬු තියෙනව. ඒ බූවල්ලාගේ හිස බවට පත්වන්නේ ජනාධිපතිවරයා.

විධායක ජනාධිපති ධූරයට අත්තනෝමතික බලතල ලබා දීමට අපි විරුද්ධයි. පවතින බලතල අඩු කරලා මීට වඩා වග කියන තත්ත්වයකට පත් කළ යුතුයි කියලා තමයි අප සටන් කරන්නේ. නමුත් ඒ සටනේ අපටත් වඩා ඉදිරියෙන් හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ජනාධිපති ධුරය ලැබුණට පස්සේ සුන්දර වචනවලින් සඟවලා සමස්ත රාජ්‍ය සතු බලතල තමන්ගේ තනතුර වතා කේන්ද්‍ර කර ගැනීමේ උත්සාහයක යෙදී ඉන්නවා.

ඒ උත්සාහය පරාජය කිරීමට අපි අධිකරණයත්, ඉදිරියේදී පාර්ලිමේන්තුවත්, පසුව මහ පාරත් කියන ස්ථාන තුනම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, යුතුකම සන්විධානයේ සභාපති ගෙවිදි කුමාරණතුංග, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු සර්වජන බලය සන්ධානයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?