Latestදේශීය

විදුලි බල කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

(ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමෙන්තුවට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් අනුමත කළ යුතුව ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැවසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121/1 වගන්තිය ප්‍රකාරව ‘ශ්‍රී ලංකාවේ විදුලිබලය’ නම් වූ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් විය.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට නොගැළපෙන අතර එය සම්මත කළ යුත්තේ 84 (2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයෙන් පමණකැයි කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කියවමින් පැවසීය. පනත් කෙටුම්පත එහි සාරාංශයේ දක්වා ඇති යෝජනා අනුව සංශෝධනය කළහොත් එම නොගැළපීම විසඳිය හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කථානායකවරයා පැවසීය.

අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බව ද කථානායකවරයා සඳහන් කළේය.

එමෙන්ම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය බව ද විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේය.

ඒ අනුව පනත් කෙටුම්පතෙහි 1(2), 1(3), 3 ( 6), 10( 1), 11 ( 1), 12 ( 1), 17, 18(3) 18(5) යන වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරිදි සංශෝධන සිදු කරන්නේ නම් අනුකූල නොවන තත්ත්වය ඉවත් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි ද කථානායකවරයා පැවැසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?