Latestදේශීය

මෛත්‍රී නැවතත් වරදකරුවෙක් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) තීරණය කළ අතර ඔහු දෙවන වරට ද එම අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වී සිටී.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වරදකරුවෙකු බවට පත් කළේ සුප්‍රසිද්ධ රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු ලෙස ජූඩ් ශමන්තට දඬුවම් නියම කර තිබියදී ජනාධිපති සමාව දීමේ බලතල යොදා ගනිමින් මෛත්‍රිපාල සිරිසේන ඔහු නිදහස් කරනු ලැබීම සම්බන්ධයෙනි. එයට එරෙහිව කාන්තා හා සමාජ සාමුහිකය නම් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර එය විභාග කිරීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෛත්‍රිපාල සිරිසේන වැරදිකරු ලෙස තීන්දු කර තිබේ.

එමෙන් ම, රෝයල් පාක්හි සිට ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීමට ද පෙත්සම්කාර කාන්තා සාමුහිකයට රුපියල් මිලියනයක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති කාර්යපටිපාටි උල්ලංඝණය කර ජූඩ් ශමන්ත නම් වැරදිකරු නිදහස් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ. ඔහු මේ වනවිට විදේශගතව සිටින බැවින් නැවත ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රිපාල සිරිසේන වැරදිකරුවෙකු කර දඩ ගෙවීමට මෙයට පෙර නියෝග කර තිබිණි. මෙම තීරණයත් සමඟ ඔහු දෙවන වරට ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වී සිටී.

ඊට අමතරව 2018 ඔක්තෝබර් මාසයේ දියත් කළ කුමන්ත්‍රණකාරී ලෙස දින 52 ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථ දක්වා තිබුණ ද එයට දඬුවම් නියම කිරීමක් සිදු නොවීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?