Latestදේශීය

වරෙන්තු 72ක් නිකුත් කර තිබුනු පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකසා රුපියල් කෝටි පනහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා වාහන වංචා කිරීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු හැත්තෑ දෙකක් නිකුත් කර තිබූ පුද්ගලයෙකු ව්‍යාජව සකසා ගෙන තිබූ ජාතික හැඳුනුපතක් ද සමඟ හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මිරිස්වත්ත වතුරුගම පදිංචි (49) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පාදුක්ක බටවල හා මත්තේගොඩ සල්ගස් හන්දිය යන ප්‍රදේශවල ඉඩම් දෙකක් රුපියල් ලක්ෂ පනහ බැගින් අලෙවි කිරීම, හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ තවත් ඉඩමක් රුපියල් ලක්ෂ 44කට අලෙවි කිරීම හා අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ කාන්තාවකට අයත් මෝටර් රථයක් කුලී පදනම මත ලබාගෙන එය යළි ලබා නොදී රුපියල් ලක්ෂ 70 පමණ මුදලක් වංචා කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි හතරක් ලැබී තිබිණි.

ඒ සම්බන්ධයෙන් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විතාන මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටියදී සැකකරු කොට්ටාව නගරයේ සිට මහරගම දෙසට මෝටර් රථයකින් යන බවට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් සැකකරු පසුපස හඹා ගොස් බොරලැස්ගමුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඡායාරූපය සහිතව ව්‍යාජව සකස් කළ ජාතික හැඳුනුම්පතක් හමුවී තිබේ.

පසුව ව්‍යාජව සකස් කර තිබූ ජාතික හැඳුනුම්පත සමඟ සැකකරු මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෝමාගම, මහරගම, අතුරුගිරිය, කොට්ටාව සහ ගම්පහ යන ප්‍රදේශවල අතහැර දමා තිබෙන ඉඩම්වල හිමිකරුවන්ගේ තොරතුරු ප්‍රාදේශීය ඉඩම් කාර්යාලවලින් ලබාගෙන එහි හිමිකරුගේ නමට හා රුවට සමාන තොරතුරු ඊට ඇතුළත් කොට එම ඉඩම් අධික මිල ගණන්වලට පුද්ගලයන් රවටා අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පසුව එම ඉඩම් ලියාපදිංචිය සඳහා යොමු කිරීමේදී එම ලේඛන ව්‍යාජ ලේඛන බවට තහවුරු වීමෙන් පසුව ඒ පිළිබඳ විමසීමට ගැනුම්කරුවන් සැකකරු සොයා එද්දී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බව පැවසේ.

මීට අමතරව සැකකරුගේ මෙම ජාවාරම සඳහා භාවිත කිරීමට කුලී පදනම මත වාහන ලබා ගන්නා අතර, පසුව එම වාහනවලටද ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කිරීමට පුරුදුව තිබේ. එසේ වංචා කොට ලබාගත් මෝටර් රථයකින් සැකකරු ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මීට අමතරව අතුරුගිරිය ප්‍රදේශයෙන් ලබාගත් වාහනය මේ වන විට රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රත්නපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සැකකරුට එරෙහිව නඩුවක් පවරා තිබේ.

මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ මඟින් සැකකරුට එරෙහිව වරෙන්තු 72ක් නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ අනුව දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම යොමු කළ පොලිස් නිවේදනවලින් වරෙන්තු විස්සක තොරතුරු තහවුරු වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.පී.එස්. ජයමහ මහතාගේ අධීක්ෂණය යටතේ හෝමාගම අංක 5 කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල මහතාගේ නියෝග පරිදි, හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විතාන මහතාගේ උපදෙස් මත පො.කො. (100369) සම්පත් (100429) දිසානායක කා.පො.කො. (9171) කමනි ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?