Latestදේශීය

ජනාධිපති බලතල අයුතු ලෙස භාවිතා නොකලේ ඩී බී විජේතුංග පමණයි – ප්‍රතිභා මහනාම

(ආරියරත්න රණබාහු)
රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය  ලබාදුන්  තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.
නීතිඥ මහානාම හේවා මහතා එසේ පැවැසුවේ එම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මහානාම හේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරුන් අතරින් ඩී.බී විජේතුංග මහතා  හැර අනිකුත් අය මෙම ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතයට ගත් බවය.
වත්මන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට ද ඇතැම් පිරිසක් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ මෙතෙක් සිදුව නැති බව ද ඔහු කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි වගන්තියේ තුන්වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව මේ  සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව පැවැසූ නීතිඥ මහානාම මහතා ඒ අනුව  ජනාධිපතිවරයකු මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළහොත් ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කළ හැකි බව ද හෙතෙම පැවැසීය.
ජනාධිපතිවරයකුට අධිකරණය මගින් දඩුවම් ලැබ සිටින යම් පුරවැසියකුට ජනාධිපති සමාව  ලබා දෙන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සලසා ඇති බව ද මහානාම හේවා මහතා කීය.
ඒ අනුව කමිටුවක් පත් කළ යුතු බවත්  ඊට අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයා නීතිපති හෝ ඔහුගේ නියෝජිතවරයකු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයකු සහ විශ්‍රාමලත් විනිසුරුවරයකු  එම කමිටුවට ඇතුළත් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බව ද පැවැසීය.
එම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ මත ජනාධිපතිවරයාට සිය තීරණය ලබා දිය හැකි බව ද මහානාම හේවා මහතා වැඩිදුරටත් පැවැසීය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *