Latestක්‍රීඩා

බංගලාදේශය පරදා දකුණු අප්‍රිකාව ජයගනී

පිට  පිට තරග දෙකක්ම පරා­ජ­යට පත්වී සිටින ශ්‍රී ලංකා­වට සුපිරි අට වටයේ  බලා­පො­රො­ත්තුව තව­දු­ර­ටත් බංග්ලා­දේ­ශය මත තැබී­මට ඉඩ සල­ස­මින් ඊයේ නිව්යෝක්  නුව­රදී දකුණු අප්‍රි­කානු පිල ලකුණු 4කින් බංග්ලා­දේශ පිල පරා­ජ­යට පත් කළේය.  මේ තර­ගයේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ දකුණු අප්‍රි­කා­නු­වන් ‘ඩී‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු  සට­හනේ ලකුණු 6ක් ලබා අප­රා­ජි­ත­වම සුපිරි අට වටයේ අභි­යෙ­සට පැමිණ සිටින  අතර, ඔවුන්ට මූලික වටයේ ඉති­රිව ඇත්තේ 15 වැනිදා පැවැ­ත්වෙන නේපා­ල­යට එරෙහි  තර­ගය පමණි. තරග 2කින් එක් තර­ග­යක් පම­ණක් ජය­ගෙන සිටින බංග්ලා­දේ­ශ­යට තවත් තරග  දෙකක් 13 වැනිදා නෙද­ර්ල­න්තය සම­ඟත්, 17 වැනිදා නේපා­ලය සම­ඟත් ඉති­රිව ඇත.  ශ්‍රී ලංකා­වට සුපිරි අටට පිවි­සි­මට නම් බංග්ලා­දේ­ශය ඉන් එක් තර­ග­යක් පරා­ජ­යට  පත්විය යුතුව ඇති අතර, එම කණ්ඩා­යම් සම­ඟම තරග වැදී­මට නිය­මිත ශ්‍රී ලංකාව   තරග දෙකම ජය­ගත යුතුව ඇත්තේ ඉහ­ළම ලකුණු ලබා ගැනීමේ වේග­යක් සහි­ත­වය.

ඊයේ  තර­ග­යේදී කාසියේ වාසිය දිනා පළ­මුව පන්දු­වට පහර දුන්  දකුණු අප්‍රි­කානු පිලට  ඕවර 20දී රැස් කිරී­මට හැකි වූයේ ලකුණු 113ක් පමණි. බැලූ බැල්ම­ටම තර­ගයේ  ජය­ග්‍ර­හ­ණය බංග්ලා­දේ­ශ­යට හිමි­වනු ඇතැයි අනා­වැකි පළ වුවද, සට­න්කාමී දකුණු  අප්‍රි­කානු පන්දු යවන්නෝ සිය පිති­ක­රු­වන්ගේ දුර්ව­ලතා මඟ හර­වා­ල­මින් තර­ගයේ  ජය­ග්‍ර­හ­ණය සිය කණ්ඩා­ය­මට අත්කර දීමට සම­ත්වූහ.

ලකුණු 114ක ඉල­ක්කය හඹා  යෑමට පිටි­යට පිවිසි බංග්ලා­දේශ පිලේ පළමු කඩුලු 4ම ලකුණු 50ක් ඇතු­ළත  දවා­ල­මින් ප්‍රබල අභි­යෝ­ග­යක් එල්ල කළ දකුණු අප්‍රි­කානු පිලට ටව්හිද් රිදෝයි  සහ මහ්මු­දුල්ලා පස්වැනි කඩු­ල්ලට එක් කළ ලකුණු 44 දැඩි පීඩ­න­යක් බවට පත්විය.

එහෙත් කගීසෝ රබඩා යැවූ 18 වැනි ඕව­රයේ පළමු පන්දු­වෙන් රිදෝයි දැවී­යෑ­මත් සමඟ  තර­ගයේ පාල­නය යළි සිය­තට ගැනී­මට දකුණු අප්‍රි­කා­නුවෝ සමත් වූහ. පන්දු 34කට  මුහුණ දුන් රිදෝයි හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය. කේෂව් මහ­රාජ්  යැවූ අව­සන් ඕව­රය වන විට බංග්ලා­දේ­ශ­යට ජය­ග්‍රාහී ඉල­ක්කය ලකුණු 11ක් වූ  අතර, අව­සන් පන්දු 2දී එය ලකුණු 6ක් බවට පත්විය. පස්වැනි පන්දු­වට  මහ්මු­දුල්ලා ඉහ­ළින්ම එල්ල කළ පහර හයේ සීමා­වට යෑමට පෙර ඉහ­ළට පැන රැක­ගත්  ඒඩ්න් මාක්‍රම් සිය කණ්ඩා­යමේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරී­මට සමත් විය.

පළ­මුව  පන්දු­වට පහර දුන් දකුණු අප්‍රි­කානු පිල අපේක්ෂා නොකළ ඉර­ණ­ම­කට ඇද දැමූ  බංග්ලා­දේශ පන්දු යවන්නෝ පළමු කඩුලු 4ම ලකුණු 23ක් ඇතු­ළත දවා­ලී­මට සම­ත්වූහ.  ඉනිම උඩු­ය­ටි­කුරු කරනු ලැබුවේ  බංග්ලා­දේශ පිලේ ආර­ම්භක වේග­පන්දු යවන්නා වන  ටන්සිම් හසන් ශකීබ් විසිනි. ඔහු ආර­ම්භක පිති­කරු රීසා හෙන්ඩ්රික්ස් සහ  ට්‍රිස්ටන් ස්ටබ්ස් දෙදෙ­නාම ලකුණු ලැබී­ම­ටත් පෙර දවාලූ අතර, සිය ඕවර 4දී  ලකුණු 18ක් පම­ණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා­ලී­මට සමත් විය. ඔහුට අනගි සහ­යක්  ලබා දුන් ටස්කින් අහ­මඩ් කඩුලු 2ක් දවාලූ අතර, ඔහු සිය ඕවර 4ට ලබා දුන්නේ  ලකුණු 19ක් පමණි.

හෙන්රිච් ක්ලාසෙන් සහ ඩේවිඩ් මිලර් එක්ව දැඩි පීඩ­න­ය­කට  හසුවී සිටි දකුණු අප්‍රි­කානු පිල ලකුණු 100 සීමා­වෙන් ඔබ්බට රැගෙන යෑමට  සම­ත්වූ­වද මුළු ලකුණු සංඛ්‍යාව 102දී ක්ලාසෙන්ගේ දැවී­යෑ­මත් සමඟ ඉනිම යළි කඩා  වැටිණි. පන්දු 44කට මුහුණ දුන් ක්ලාසෙන් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟ  ලකුණු 46ක් රැස් කළ අතර, මිලර් ලකුණු 29ක් රැස් කරනු ලැබුවේ පන්දු 38කිනි.  ඊට හතරේ පහ­රක් සහ හයේ පහ­රක් ඇතු­ළත් විය. දෙදෙනා අතර පස්වැනි කඩු­ල්ලට ලකුණු  79ක සම්බ­න්ධ­තා­වක් ගොඩ නැඟු­ණද, බංග්ලා­දේ­ශ­යට අභි­යෝ­ගා­ත්මක ලකුණු සංඛ්‍යා­වක්  ලබා­දී­මට එය ප්‍රමා­ණ­වත් නොවීය. ක්ලාසෙන්ට සහ මිලර්ට අම­ත­රව ආර­ම්භක පිති­කරු  කුයි­න්ටන් ඩි කොක් ලකුණු 18ක් රැස් කළ අතර, සෙසු පිති­ක­රු­වන්ට ලකුණු 10  සීමා­වට ළඟා­වී­ම­ට­වත්  බංග්ලා­දේශ පන්දු යවන්නෝ ඉඩ නොතැ­බූහ. තර­ගයේ වීරයා  සම්මා­නය හිමි­වූයේ ලකුණු 46ක් රැස් කළ හෙන්රිච් ක්ලාසෙ­න්ටය.

දකුණු  අප්‍රි­කාව – 113/6 (ඕවර 20) හෙන්රිච් ක්ලාසෙන් 46, ඩේවිඩ් මිලර් 29,  කුයි­න්ටන් ඩි කොක් 18 ( ටන්සිම් හසන් ශකීබ් 18/3, ටස්කින් අහ­මඩ් 19/2)

බංග්ලා­දේ­ශය  – 109/7 (ඕවර 20) ටව්හිද් රිදෝයි 37, මහ්මු­දුල්ලා 20, නජ්මුල් ෂැන්ටෝ 14 (  කේෂව් මහ­රාජ් 27/3, ඇන්රිච් නෝයේ 17/2, කගීසෝ රබාඩා 19/2)

@ දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *