Latestදේශීය

රත්නපුරට නව මහවැලි කොට්ඨාශ දෙකක්

(සිසිර විජේසිංහ)

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 ක් ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කිරීම ට පියවර ගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්‍රාම නිලධාරි වසම් 37 ක්, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 30 ක්, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්‍රාම නිලධාරි වසම් 02 ක්, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ ග්‍රාම නිලධාරි වසම් 02 ක් සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යේ එක් 01) ග්‍රාම නිලධාරි වසමක් ලෙස ඒකාබද්ධ කරමින් ගොඩකවෙල සහ වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්‍රදේශය යටතේ සංවර්ධනය කිරීම ට නියමිතය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනත යටතේ, 1981 අප්‍රේල් 16 දින අංක 137 ගැසට් පත්‍රය මඟින් වලව මහවැලි විශේෂ බලප්‍රදේශය ප්‍රකාශයට පත් ඇත.

එහෙත් එම මහවැලි වලව කලාපයේ ඇතැම් ප්‍රදේශ මෙතෙක් සංවර්ධන කටයුතු සඳහා පියවර ගෙන නොතිබුණි.

සංවර්ධනය නොකළ එම ප්‍රදේශ යළි සංවර්ධන කර ජනතාව ගේ ජීවනෝපාය ශක්තිමත් කරන ලෙස ප්‍රදේශයේ විහාරස්ථාන විහාරාධිපතිවරුන්, ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන නියෝජිතයින් විසින් දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම කළ බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

ඒ අනුව එම ඉල්ලීම් සලකා බලා මෙලෙස ගොඩකවෙල සහ වැලිගෙපොල නව මහවැලි කොට්ඨාස දෙක ප්‍රකාශයට පත් කිරීම ට පියවර ගත්බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම නව මහවැලි කොට්ඨාස දෙක (10) නිලවශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා සොයිසා මහත්මිය, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෞෂල්‍යා විජේවීර මහත්මිය, ඉඩම් පරිහරණ සැලසුම් අධ්‍යක්ෂ ඉන්දිකා ජයවර්ධන මහත්මිය සහභාගි වී සිටියාය.

මෙහිදී මුදිතා සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වරිය සඳහන් කළේ, වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මෙලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යල බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72 ක් මෙලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ සංවර්ධනය කිරීම ට පියවර ගැනීම ජනතාවාදී තීන්දුවක් බවයි.

නව මහවැලි කොට්ඨාස දෙකට අයත් ග්‍රාම නිලධාරි වසම් හැත්තෑ දෙක, ඇතුළත පදිංචි පවුල් සංඛ්‍යාව 33361 කි. මෙම ප්‍රදේශ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතට පත්වීමත් සමඟ එම ප්‍රදේශ වල පදිංචි ජනතාව ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් සංවර්ධනය සඳහා කඩිනම් ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මීට පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ දෙකේ ග්‍රාම නිලධාරි වසම් 47 ක් ඒකාබද්ධ කර කොලොන්න ප්‍රදේශය නව මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිනි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?