Latestදේශීය

ඔලුවිල් වරාය කඩිනමින් ප්‍රතිසංස්කරණයට – ඩග්ලස් දේවානන්ද

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත් ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ සඳහා වරාය අධිකාරියේ නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ඔලුවිල් ප්‍රදේශයේ බුද්ධිමතුන් සහ මහජනතාව නියෝජනය කරන සංවිධාන ද එක්ව සිටියා. ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරන අතරතුර එහි ඇති සම්පත් ආරක්ෂා කර, වරාය වැඩිදියුණු කිරීමට අප කටයුතු කරනවා. එම වරාය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නේ කෙසේදැයි සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණයි. අපි ඉක්මණින් වැඩ අවසන් කර අපගේ ඉලක්කය කරා ළඟා විය යුතුයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීය සංචාරයක නිරත වුණා. එය ඉතා සාර්ථක සංචාරයක් වුණා. මෙම සංචාරය පිළිබඳව ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී අදහස් පළ කළා. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අපේ රටට ආර්ථික වශයෙන් වැදගත් මෙන්ම රටේ තරුණ තරුණියන්ට රැකියා දහස් ගණනක් ලබා ගැනීමට හැකි වේවි කියා මම විශ්වාස කරනවා.

ඒ වගේම ඉන්දියාවේ ධීවරයින් අප මුහුදු සීමවේ මසුන් ඇල්ලීම සහ නීතිවිරෝධී ආම්පන්න භාවිතා කිරීම සම්බන්ධව ගැටලුවක් තිබෙනවා. ඉන් අපේ ධීවරයන්ගේ ජීවනෝපායටත් බලපෑම් එල්ල වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දීය ධීවරයන් අතර පවතින එම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයේදී අදාළ ඉන්දීය පාර්ශ්වය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එහිදී මේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීමට කටයුතු කරනවා. ධීවර ජනතාවගේ අභිවෘද්ධිය සහ සමුද්‍ර කර්මාන්තයේ සම්පත් ආරක්ෂා කිරීම සඳහා ධීවර කර්මාන්තයට අදාළ නව නීතියක් හඳුන්වා දීමට ද අපි කටයුතු කරනවා.

ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ ධීවරයින්ගේ අදහස් ලබාගෙන නව පනතක් ගෙන එනවා. එය ඉතා කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. ධීවර ක්ෂේත්‍රයට අදාළ ප්‍රඥප්ති සකස් කිරීමටත් අපි කටයුතු කරනවා.

තවද ඉන්ධන මිල ඉහළ යාමෙන් ධීවර ජනතාව පමණක් නොව පාරිභෝගික ජනතාවද පීඩාවට පත්ව සිටිනවා. ඒ නිසා ධීවර ජනතාවට ඉන්ධන සහනාධාර ලබාදීමේ හැකියාව පිළිබඳවත් අපි අවධානය යොමු කර තිබෙනවා. අප මේ පිළිබඳව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම මිරිදිය මත්ස්‍ය ඇතුළු ජලජීවී කර්මාන්ත සහ ජල කළමනාකරණය පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

1985න් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත් ඉඩම් අදාළ පුද්ගලයන්ට නැවත ලබා දිය යුතු බවට ජනාධිපතිවරයාගේ සංකල්පයට අනුව ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඇතුළු උතුරේ දිස්ත්‍රික්ක පහේම දිසාපතිවරුන් සහ රේඛීය ආයතනවල ලේකම්වරුන් සමඟ නුදුරේදීම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙරට ධීවර දිස්ත්‍රික්ක 15ටම ගොස් එම ප්‍රදේශවල ධීවරයන්ගේ ගැටලු සොයා බැලීමට අමත්‍යාංශයක් විදිහට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම ධීවර ගම්මානවල වෙසෙන ජනතාව පවසන්නේ අනාගතයේදී අප රටට හොඳ නායකයෙක් පත්කරගත යුතු බවයි.

පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය, භාණ්ඩ හිඟය, පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී එතුමාට සහාය පළ කරමින් ඔහු සමඟ කටයුතු කිරීමට අප සූදානම් බව ද පැවසිය යුතුයි.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?