Latestදේශීය

තාරුණ්‍යයේ දැවැන්තම පෙරළිය ‌මේ මාසයේ සිදුවෙනවා – හරීන් ප්‍රනාන්දු

රටේ තරුණ තරුණියන්ගේ දැවැන්තම පරිවර්තනයක් සහ ආකල්පමය පෙරළියක් සිදු කිරීමට “Smart Youth 2024” වැඩ සටහන ඔස්සේ සැලසුම් කර තිබෙන්නේ යැයි  බලාපොරොත්තු වන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. 

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ, 2024 ජූනි මස 14 සහ15 යන දෙදෙනේ දී ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත් වීමට නියමිත “SMART YOUTH EXHIBITION 2024” වැඩ සටහන පිළිබඳව ජනමාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. 

“Smart” රටක් ගොඩනගන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළට සමගාමීව හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතාගේ මෙහෙය වීමෙන් “SMART YOUTH EXHIBITION 2024” වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.

රට පුරා සෑම දිස්ත්‍රික්කයකම සංවිධානය කෙරෙන “SMART YOUTH EXHIBITION 2024” වැඩ සටහනේ සමාරම්භක උත්සවය ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ දී මේ මස 14 සහ 15 යන දිනවල දී අභිමානවත් සහ විචිත්‍රවත් අයුරින් පැවැත් වීමට සියලු කටයුතු යොදා ඇත. 

මෙම වැඩ සටහන යටතේ දකුණු පළාතේ තරුණ තරුණියන්ට නවීන ලෝකයට ගැලපෙන වෘත්තීය පාඨමාලා, දේශීය සහ විදේශීය අධ්‍යාපන සහ රැකිරක්ෂා අවස්ථා, ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාර ණය පහසුකම්, සුහුරු කෘෂිකර්මය, පෞරුෂත්ව වර්ධනය සහ නායකත්ව පුහුණුව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තාරුණ්‍යය ආකර්ෂණය වන අශ්වාරෝහක සංදර්ශන, යතුරු පැදි සංදර්ශන, මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින් පුනරුත්ථාපනය සම්බන්ධ වූ වැඩ සටහන්, සෞන්දර්ය සහ කලා කෞශල්‍ය සංවර්ධනය වෙනුවෙන් විශෞෂ පුහුණු වැඩසටහන්, සංචාරක, ඉඩම් සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පහසුකම් සලසාදීමේ සේවා කුටි, පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු නිරාකරණය දීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් කෙනෙකු පත් කොට විසඳුම් ලබා දීම, ප්‍රදේශයේ පාසැල් සම්බන්ධ කොට ගත් තූර්ය වාදක තරඟ සහ නර්තන වැඩ සටහන්, කුඩා දූ පුතුන්ට සහභාගී විය හැකි සැණකෙළි භූමි පරිශ්‍රය, තාරුණ්‍යයේ දක්ෂතා උරගා බලා රුපියල් මිලියන ගණනින් මුදල් ත්‍යාග දිනා ගැනීම ඇතුළු අවස්ථා රැසක් උදා කර දී තිබේ.

ඊට අමතරව ජනකාන්ත සහ ජනප්‍රිය තරු පිරිවරා ගත් මහා සංගීත ප්‍රසංගයක් ජූනි 15 වැනිදා රාත්‍රී 8.00 සිට පැවැත් වෙන බව ද සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසයි.  

@Lanka News Week

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?