Latestක්‍රීඩා

ඉන්දියාව සුපිරි 8ට සුදුසුකම් ලබයි

පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් ඉන්දීය කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලැබූ තෙවැනි කණ්ඩායම බවට පත් විය.

ඊයේ අමෙරිකාවේ නසාවු ක්‍රීඩාංගණයේ පැවති ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී සත්කාරකයන් කඩුලු 7කින් පරාජය කළ ඉන්දීය පිල තවත් තරගයක් ඉතිරිව තිබියදීම ප්‍රසාද ලකුණු 6ක් සමඟ එම කාණ්ඩයේ පෙරමුණ ගත් අතර, ඒ සමඟ සුපිරි 8 වටයට එක්වීමේ අවස්ථාව උදා විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු පිල කඩුලු 8ක් දැවී ලකුණු 110ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දියාව ඕවර 18.2කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 3ක් දැවී තිබියදීය.

ඉන්දීය පිළිතුරු ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 10ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට අමෙරිකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ඉන්දීය ජාතික සෞරබ් නේත්‍රවල්කාර්ට හැකි විය. පිට පිට තෙවැනි වරටත් අසාර්ථක වූ විරාට් කෝලි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, නායක රෝහිත් ශර්මාට රැස් කළ හැකි වූයේ ලකුණු 3ක් පමණි. ලකුණු 18ක් ලබා සිටි රිෂාබ් පාන්ට් තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, අනතුරුව සූර්යකුමාර් යාදව් සමඟින් එක් වූ ශිවම් ඩූබේ ලකුණු 67ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවමින් ඉන්දීය ජය තහවුරු කළේය. සූර්යකුමාර් පන්දු 49කදී හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 50ක් රැස් කළ අතර, ඩූබේ පන්දු 35කින් ලකුණු 31ක් රැස් කළේ හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමිනි. පන්දු යැවීමේදී සෞරබ් නේත්‍රවල්කාර් කඩුලු 2ක් දවා ගත්තේය.

සූර්යකුමාර් ලකුණු 22ක් රැස් කර සිටියදී ලබාදුන් උඩ පන්දුව සෞරබ් නේත්‍රවල්කාර් අතින් ගිලිහී නොගියා නම් ප්‍රතිඵලය මෙයට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.

පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු පිල වෙනුවෙන් පන්දු 23කින් ලකුණු 27ක් රැස් කළ නිතිෂ් කුමාර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ස්ටීවන් ටේලර් ලකුණු 24ක් ඉනිමට එක් කළේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා වූ අර්ෂදීප් සිං ඕවර 4දී ලකුණු 9ක් පමණක් දෙමින් කඩුලු 4ක් බිඳ දැම්මේ සිය හොඳම ජාත්‍යන්තර විස්සයි20 පන්දු යැවීම ද සටහන් කරමිනි. ඔහු මින් පෙර කඩුලු 4ක් දවාගෙන තිබුණේ ලකුණු 37ක් ලබා දෙමිනි. හර්දික් පාණ්ඩ්යා කඩුලු 2ක් බිඳ දැම්මේය.

ඉන්දියාව අනිද්දා මූලික වටයේ අවසන් තරගයට එක් වන්නේ කැනඩාවට එරෙහිවය. අමෙරිකාව හෙට (14) අයර්ලන්තයට එරෙහිව මූලික වටයේ අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

අමෙරිකාව – 110/8 (ඕවර 20) නිතිෂ් කුමාර 27, ස්ටීවන් ටේලර් (අර්ෂදීප් සිං 9/4)

ඉන්දියාව – 111/3 (ඕවර 18.2) සූර්යකුමාර් යාදව් නොදැවී 50, ශිවම් ඩූබේ නොදැවී 35 (සෞරබ් නේත්‍රවල්කාර් 18/2)

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *