Latestදේශීය

රංජන් නිදහස්

(අසේල කුරුළුවංශ)

විවාහ පොරොන්දුවක් දී ලබාගත් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ආපසු නොදුන් බව කියමින් කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට එරෙහිව වසර 13 ක කාලයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් ඒ මහතා නිදොස්කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (12 නියෝග කළේය.

මෙම පැමිණිල්ලට අදාළව පොලිසිය විමර්ශන ආරම්භ කළ මුල් සමයේ රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව ද සිටියේය.

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් නීතිඥ වරුණ නානයක්කාර මහතා සමඟ නීතිඥ මතීෂ සෙනෙවිරත්න මහතා පෙනී සිටියහ.

මෙම නඩුව සිවිල් ස්වභාවයක් ගන්නා බවත් චෝදනා ගොනු කිරීමේ දෝෂ පවතින බවත් මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ දී පැවැසූ බව නීතිඥ වරුණ නානායක්කාර මහතා පැවැසුවේය.

මෙම නඩුව වසර 13 ක කාලයක් තිස්සේ නීතිඥවරු හතර පස් දෙනකු යටතේ විභාග වූ බව ද ඒ මහතා කීය.

අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ තීන්දු ලබාදීම ප්‍රමාද වන බවට ජනතාව තුළ මතයක් තිබෙන නමුත් අවසානයේ දී යුක්තිය ඉටුවන බව මෙම නඩුවේ දී පසක් වූ බව නීතිඥ මතීෂ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

තම ප්‍රතිරූපයට හානි කිරීමේ අදහසින් මෙම නඩුව පවරා තිබෙන බවත් අවසානයේ තම නිර්දෝෂිභාවය අධිකරණය මඟින් තහවුරු කර තිබෙන බවත් රන්ජන් රාමනායක මහතා පැවැසුවේය.

පැමිණිල්ල කළ ගුරුවරිය සම්බන්ධයෙන් තමන් තුළ වෛරයක් නොමැති බවත් ඇය කිසියම් දේශපාලන කණ්ඩායමක වුවමනාව මත මෙම පැමිණිල්ල සිදුකළ බවත් කී රන්ජන් රාමනායක මහතා නඩුව වෙනුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් වැය කිරීමට වූ බව ද ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් වන්දි නඩුවක් පැවරීමේ කිසිදු වුවමනාවක් තමන් සතුව නැතැයි ද ඒ මහතා කීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?