විශේෂඥ වෛද්‍ය ජයනාත් අත්අඩංගුවට ගැනීමට ඉන්ටපෝල් සහය
(නිමන්ති රණසිංහ)
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව රතු නිවේදන සහිත විවෘත වරෙන්තු නිකුත් වී සිටින 09 වැනි සැකකරු වන විශේෂඥ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාත්මක වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (14) දැනුම් දුන්නාය.
ඒ අනුව එම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මෙරට රහස් පොලිසියේ ජාත්‍යන්තර ඒකකය වෙත භාරදීමට කටයුතු යොදා ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය. මෙම සිද්ධියේ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන අය සතුව රාජකාරී මුද්‍රා දෙකක් පමණක් පවතින බවට ඔහු ප්‍රකාශ ලබාදී තිබුණත් සිදු කළ විමර්ශනවලදී රාජකාරී මුද්‍රා 12ක් අත්අඩංගුවට ගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති එම මුද්‍රා 12 සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය ආණ්ඩුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ රස පරීක්ෂකවරයාට නියෝග කළාය. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන අයවලුන් ඇතුළු සැකකරුවන් 11 දෙනකු ඊයේ (14) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පැමිණීල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය – ස්වාමීනි, ලියාපදිංචි නොවූ ඖෂධයක් ශ්‍රි ලංකාවට ආනයනය කරන අවස්ථාවේදී ඖෂධ නියාමන අධිකාරී පනත ප්‍රකාරව ඖෂධ ඇගැයීම් කමිටුවේම අනු කමිටුවක් ලෙස ඩබ්ලිව්. ඕ. ආර්. කමිටුවක් ක්‍රියාත්මක කිරීමට අදාළ අවසරය ලබා දෙන අවස්ථාවේදී එම කමිටු සාමාජිකයන් විසින් ලියාපදිංචි නොවන සැපැයුම්කරුවකුට ඖෂධයක් ලබාදීම සඳහා සලකා බලන උපමානයන් පිළිබඳව සලකා බලනවා. එහිදී ලියාපදිංචි සැපයුම්කරුවකු නොමැතිව අත්‍යවශ්‍ය කාරණයකදී පමණක් එම කාරණය සලකා බලන බවට මෙම ඩබ්ලිව්. ඕ. ආර්. කමිටුවේ විශේෂඥ වෛද්‍ය කමිටුව ප්‍රකාශ කර තිබුණා කියලා අධිකරණයට අපි කිව්වා.
නමුත් මෙම තත්ත්වයට ව්යාතිරේකව මෙහි 12 වැනි සැකකරු 2022 සැප්තැම්බර් 16 වැනි දින හයවන සහ දහවන සැකකරුවන්ගේ අනුමැතිය යටතේ පාස්ටට් මෙතර්ඩ් නැත්නම් ශීඝ්‍රගාමී ක්‍රමයට අවසර ලබාගෙන ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකර ‘නෝට් ටු ද බෝර්ඩ්’ කියන ලියැවිල්ල මත දැනුම් දීමක් කරලා එය මෙය 01 වැනි සහ 10 වැනි සැකකරුගේ අනුදැනුම නිසා අධ්යක්ෂ මණඩලයට යොමු කරලා අවසරය අරගෙන තිබුණා. ඊට අදාළව අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශ ගත්තා. එහිදී එවකට අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම පැහැදිලි ප්‍රකාශ ලබා දෙමින් කියා සිටියා එම නෝට් ටු ද බෝඩ් කියන සටහන ඉදිරිපත් කරන අවස්ථාවේදී ඩබ්ලිව්. ඕ. ආර්. කමිටුව මඟින් නිර්දේශ ලබා නොගෙන 12 වැනි සැකකරු විසින් ලබාදෙන බවට ඔවුන් කිසිදු අවස්ථාවක දැනගෙන නොසිටි බව.
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් නොවන අදාළ අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති ඇතුළු අනෙකුත් සාමාජිකයින්ගේ ප්‍රකාශ සටහන් කර ගත්තා. එම ප්‍රකාශවල පැහැදිලිව කියා තිබෙනවා ඔවුන් කිසිදු අවස්ථාවකදී ඩබ්ලිව්. ඕ. ආර්. කමිටුව හරහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ට අදාළ ඖෂධය ගෙන්වීමට ඖෂධ නියාමන අධිකාරිය සිදු කර තිබෙනවා කියලා. ඔවුන් මුල් අවස්ථාවේදී එය නොදැන සිටියා කියලා ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා. ඔවුන් කියනවා 12 වැනි සැකකරු ගත්තේ මොන ක්‍රියාමාර්ගයක් ද කියලා ඔවුන් දන්නේ නැති බව. මේ කමිටුවේ ඉන්නේ ඖෂධ නියාමන අධිකාරියේ නිත්‍ය සාමාජිකයන්. ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ප්‍රධාන විධායක නිලධාරියා තමයි අධ්යක්ෂ මණ්ඩලය ගනු ලබන තීරණය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන විධායකයා බවට පත්වන්නේ. ඒ නිසා ඔහුව විශ්වාස කරලා තමයි මේ කටයුතු කරන්නේ කියලා ඔවුන් පැහැදිලි ප්‍රකාශයක් දුන්නා.
නමුත් එම තත්ත්වය යටතේ 12 වැනි සැකකරු විසින් අදාළ ඖෂධය විශ්ලේෂණය කළ හැකි විශේලේෂණ කමිටුව මග හරවා ඔහු විසින් ඔහු යටතේ සේවය කරන ඖෂධවේදීන් හරහා මෙම සහිතකය නිකුත් කිරීම කළ බවට විමර්ශනයේදී අනාවරණය වුණා. ඔහුගේ ප්‍රකාශය සටහන් කරන අවස්ථාවේදී ඩබ්ලිව්.ඕ.ආර්. සහතිකය නිකුත් කිරීමට තිබෙන සුදුසුකම් මොනවාද කියලා අපි ඇහුවා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඔහුට කිසිම සුදුසුකමක් නැහැ කියලා. ලියාපදිංචි නොවූ සැපයුම්කරුවකු රෝගීන්ට ලබා දෙන ඖෂධයක් ආනයනය කිරීමේදී එම ඖෂධයේ තත්ත්වය පිළිබඳව අදාළ නියාමන අධිකාරියේ විධායක නිලධාරියාට සුදුසුකමක් තිබිය යුතුයි. ඊට අදාළ සමාජ සුභසාධන නඩුකරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරුවා.
ඊට හේතුව තමයි අත්‍යවශ්‍ය නොවන ඖෂධ 37ක් මෙරටට ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ 12 වැනි සැකකරු විසින් හයවන සැකකරුගේ කීම මත මුදල් අයකර අදාළ ඩබ්ලිව් ඕ සහතිකයක් නිකුත් කළා. ඒ අවස්ථාවේදී මහජන ආරක්ෂණ කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාකරණයේ නඩුවක් පැවරුවා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මෙරටට එම ඖෂධ ගෙන්වීම හතනම් කරන්න කියලා. ඒ අනුව 12 වැනි සැකකරු නැවත වරක් අධ්යක්ෂ මණ්ඩලය ඉදිරියට ගිහිල්ලා ඉල්ලුවා ඩබ්ලිව්. ඕ. ආර්. සහතිකයේ කාලය මාස හයක් සඳහා දීර්ඝ කරලා දෙන්න කියලා. ඒ කාලය අවසාන වන විට නැවත මාස හයකට ඉල්ලා සිටියා. පසුව අධ්යක්ෂ මණ්ඩලය එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරලා තිබුණ නිසා ඔවුන් දෙවැනි වරට කාලය දීර්ඝ කිරීමට කැමැති වුණේ නැහැ. අධ්යක්ෂ මණ්ඩලය කිව්වා මේ නඩුව තියෙන නිසා අනුමැතිය දෙන්න බැහැ නැවත ඩබ්ලිව්. ඕ. ආර්. කමිටුවක් මඟින් සහිතක නිකුත් කිරිම කළ යුතුයි කියලා. එම පසුබිම යටතේ අප අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියා 12 වැනි සැකකරුගේ අත්සනින් තබන ලද කටු සටහන සහ ඔහු නිකුත් කළ ලිපි කිහිපයක් අපට ලබා ගැනීමට.
12 වන සැකකරු තැබූ එම කටු සටහනම ඉන් පස්සේ ඔහු ලියා තිබෙන දේ ඒ ආකාරයෙන්ම 6 වන සැකකරු ලිපියක් ලෙස ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෙත නිකුත් කරලා තිබෙනවා. 12 වැනි සැකකරු 6 වන සැකකරු ලවා ඒක නිකුත් කරගෙන තිබෙනවා. ඒ ලිපියේ තිබෙනවා 2023 මාර්තු මස 17 වැනිදා අධ්යක්ෂ මණඩලය තිරණය කරනවා සියලුම ඩබ්ලිව්. ඕ. ආර්. සහතික විශේෂඥ කමිටුව මඟින් විතරයි නිකුත් විය යුත්තේ කියලා. නමුත් 2023 මාර්තු 27 කියනවා 08 වැනි සැකකරු උපදෙස් දුන්නා කියලා. පනතේ තිබෙන බලතල අභිභවා ශීඝ්‍රගාමී ක්‍රමය අනුගමනය කරන්න කියලා. ඖෂධ නියාමන අධිකාරි පනතේ අධිකාරිය කියන්නේ අධ්යක්ෂ මණ්ඩලය. ඒ නිසා පනත උල්ලංඝනය කරමින් මේ ආකාරයට 6, 8, 12 යන සැකකරුවන් කටයුතු කර තිබෙනවා.
ඒ නිසා මෙම ලිපිය 12 වැනි සැකකරුගේ ආදර්ශ අත්සනත් සමඟ රජයේ සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මෙහි 12 වැනි සැකකරු ඉකුත් 2023 ඔක්තෝබර් මස 20 වැනිදා ප්‍රකාශයක් ලබා දීලා කිව්වා ඔහුගේ රාජකාරියට භාවිතා කරනු ලැබුවේ මුද්‍රා දෙකක් පමණයි කියලා. නමුත් මෙම විමර්ශනයට අදාළව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයේදී අනාවරණය වුණා ඔහු විසින් මුද්‍රා 12ක් භාවිත කර තිබූ බව. රාජ්‍ය නිලධාරීන් මුද්‍රා 12 ක් භාවිත කර තිබෙනවා.
ඒ අනුව අදාළ මුද්‍රා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට අවශ්‍ය වෙනවා. 2022 අගෝස්තු මාසයේදී 12 වැනි සැකකරු 01 වැනි සැකකරුට ලියුමක් යවලා තිබෙනවා. එම ලිපිය යැවීමට හේතු පාදක වී තිබුණේ ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපති සහ 12 වැනි සැකකරු පුද්ගලිකව පළමුවැනි සැකකරුගේ ඖෂධාගාරය ස්ථාන පරීක්ෂාවට ගිහින්.
ඒ අනුව අදාළ ලිපිනය සීඅයිඩී එකට භාරයට දෙන ලෙසට ඖෂධ නියාමන අධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මෙම ප්‍රශ්නගත බෙහෙත මාතර, නුවර යන රෝහල්වල රෝගීන්ට ලබාදීලා තියෙනවා. එහිදී රෝගීන්ට ඇතිවූ ආසාත්මිකතා වාර්තා වෙලා තිබුණා. එහිදී කමිටුව වහාම කිව්වා එම බෙහෙත ලබා දෙන එක නවත්වන්න කියලා. ඒ කමිටුව මඟින් මීට අදාළව මුලින්ම කරුණු හෙළි කරගෙන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කරන ලද වට්ස්ඇප් සමූහයකට සම්බන්ධ වෙලා තියෙනවා. එහිදී ඔවුන් තීරණය කළා හැකි ඉක්මනින් එම ඖෂධය මොකක්ද කියලා හොයාගන්නත් පෙර රෝහල් පද්ධතියෙන් ඉවත් කර ගන්න. ඒ අනුව විශේෂඥ වෛද්‍ය රජීන්ද්‍ර සිල්වා මහතා නිර්දේශ කළා එය වහාම ඉවත් කරන්න.
ඒ අනුව ඊට අදාළ ලිපිය එනම් ඖෂධ සුරක්ෂිතාව පිළිබඳ ඇගැයීම් කමිටුවේ සභාපතිවරයාගේ නිර්දේශය අනුව නිකුත් කළ එම ලිපිය අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. අධිකරණ නියෝග ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රොන්ටෝ පද්ධතියට පිවිසී මෙම විමර්ශනයට අදාළ විමර්ශන සිදු කරමින් යනවා.
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙසය. මෙහිදී තුන්වැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ ඇයගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍ය කමිටුවක් මඟින් එම රෝගී තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙසය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අධිකරණයෙන් නියෝගයක් නිකුත් වූයේ එම සැකකාරිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවක් මඟින් වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය. බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන්, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවන් මෙම නඩුවේ සැකකරුවෝ වෙති. මෙහි සිව්වැනි සැකකාර හිරාන් ධනජංය, පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර ඇත. එම සැකකරු මේ වන විට විදෙස්ගත සිටියි.
@දිනමිණ