‘විනයගරුක පක්ෂ’ සහ ‘අරගලකාරී ජනතාව’ – මැතිවරණ දෙන්නෙ රනිල්ද?
(චන්දන සිරිමල්වත්ත)
මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීම ගණනය කරමින් බලවේග සමග ගනුදෙනු කිරීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ මැදිහත් වෙමින් සිටින බවක් පෙනේ.
ආර්ථික අර්බුදයක ඇදවැටී පීඩා විඳිමින් සිටින ජනතා බලවේග සමග පීඩාවේ මනෝභාවය ආමන්ත්‍රණය කරමින් දේශපාලනය කිරීම ජනප්‍රිය දේශපාලනයේ ක්‍රමයයි. අප දන්නා ඉතිහාසයේ හඳෙන් හාල්, හාල්පොලු යුගයට එරෙහිව ඇට අටක් දෙන ධර්මිෂ්ඨ සමාජයත්, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරත් ආදි වශයෙන් අප ගෙනැවිත් ඇද දැමූ අවසානය 2021 වසරේ ඇද වැටුණු ආර්ථික අර්බුදයයි. ඒ දේශපාලන සමාජ ආර්ථික ක්‍රමයක ඉතිහාසය තුළ අප ගමන්ගත් පරිහානික මාර්ගයයි. එය අප දේශපාලන භාෂාවකින් හඳුන්වන්නේ නවලිබරල් ධනවාදය ලෙසයි.
එහිදී සමාජයීය හා සංස්කෘතික තලයේදී මිනිස් ජීවිතයේ ඇති වූ පරිවර්තනයන් මොනවාද යන්න අමතක කළ නොහැකිය. මන්ද පාලකයන් විසින් අගාධයකට මෙහෙයවනු ලැබූ, පාලකයන් පත්කරමින් එම පරිහානික මෙහෙයවීම අනුමත කළ අනාගතය නොදුටු මිනිස් සමාජයක් ලෙස අප ගත් තීරණ විසින් අප ගෙනැවිත් තිබෙන තැන මේ ගැඹුරු අගාධය වන බැවිනි. එනිසා නවලිබරල් ධනවාදය විසින් අප සමාජයක් ලෙස හුදු පරිභෝජනකාමීත්වයකින් ශික්ෂණය කොට, නිද්‍රාවට පත් කොට ඇතිවා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත තබාගෙන එය ක්‍රියාවට නැගීමට ‘දේශපාලන පක්ෂ නමැති අනුන්ට’ කොන්ත්‍රාත් දෙනවුන් බවට පත්ව ඇත. අප විසින් ක්‍රියාත්මක කළ යුතු පරමාධිපත්‍ය බලය වෙනුවට කවුරුන් හෝ ඉටුකර දෙන තෙක් බලා සිටින නරඹන්නන්, අනුන්ගේ සක්‍රියභාවයකින් ආතල් ගන්නන් බවට පත්ව ඇත.
නමුත් අප, ‘දැන් ඉතින් ලෝකය අවසන්’ යැයි විශ්වාස නොකරමු. ඇද වැටුණු වලෙන් ගොඩවීම නැතිනම් මිනිස් සමාජයක් ලෙස ප්‍රගතිය කරා යන කාර්යයද අප උර මත උසුලා ගත යුතුව ඇත. එහිදී පුද්ගල සාධක මෙන්ම කණ්ඩායම් සාමුහිකත්වය වැදගත් කාර්යයක් ඉටු කරයි. ඉදිරි මැතිවරණයක් පැවැත්වේද නැද්ද යන්න පාලකයන් විසින් නොව අප සමාජයක් විසින් ගත යුතු තීරණයකි. පාලකයන් කැමති වන්නේ බලය පිළිබඳ කාරණයේදී මැතිවරණ අවශ්‍යද නැද්ද යන තීරණය ගන්නටය. නමුත් මැතිවරණ යනු අපගේ පාලක කණ්ඩායම කුමක්දැයි තීරණය කරනු පිණිස සමාජයක් ලෙස අප කරන මැදිහත්වීමකි. ඒ ගැන කතා කළ යුතු දේවල් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන, දේශපාලන මැදිහත්වීම ගැන පසුගිය කාලයේ වපුරන ලද අදහස්වල අප තවමත් ගිලී සිටිමු. මැතිවරණයකින් මීළඟ පාලක කණ්ඩායම ජයගත් විට ‘ඔවුන් මොන මොනවා හරි කරලා මේක ගොඩදායි’ යනුවෙන් අදහන මිත්‍යාවක් ඇත. රනිල් මේක ගොඩදායි කියන මිත්‍යාවද එවැනිමය. දැන් රනිල්-රාජපක්ෂ පාලනය විසින් IMF වැඩපිළිවෙළ ඔස්සේ අප නැවත එම අර්බුදය තුළම ගිල්වමින් සිටී. 2022 අරගලය හේතුවෙන් පළා ගිය ගෝඨාභය රාජපක්ෂගේ අඩුව පුරවන්නට රනිල් වික්‍රමසිංහ පත් කරගත්තේ ජනතාව නොව, අරගලයේදී ප්‍රතික්ෂේප වූ රාජපක්ෂ-පොහොට්ටු කල්ලිය විසිනි. එය පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවගේ අභිප්‍රායද නොවන බව එසේ ඡන්දය දුන් අයම විසින් වරින්වර ප්‍රකාශකර ඇත. නමුත් දැන් අප සූදානම් වන්නේ පැවැත්වීමට නියමිත මැතිවරණ කාලයකට මුහුණ දෙන්නටය. පැවැත්වීමට නියමිත පළාත් සභා හෝ පලාත්පාලන මැතිවරණ කල් දමා ඇති බවද අප අමතක කළ යුතු නැත.
මැතිවරණයකින් සියල්ල අවසන් නොවන බව අප දන්නා නමුත් පාලකයන්ට මැතිවරණය දීම නොදීම සම්බන්ධයෙන් තීන්දු ගැනීමට ඉඩ නොදිය යුතුව ඇත. මැතිවරණ නොපවත්වන බව පසුගිය පළාත්පාලන මැතිවරණයේදී නැවත ඔප්පු කරන තුරු අප සමාජයක් ලෙස වටහා ගත්තේද නැත. අහෝසි කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා ගන්නට අප සටන් වැදුනේද නැත. දේශපාලන පක්ෂ විවිධ කතන්දර කීවා මිස සමාජය හමුවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ අභියෝගය භාර ගත්තේද යන්න නැවත විමසා බැලිය යුතුව ඇත. එහි තේරුම තමන්ට බලය අතපත ගාන්නට පමණක් මැතිවරණ අවශ්‍ය යැයි හිතන දේශපාලනයක් පාලක කණ්ඩායම් තුළ මෙන්ම පාලනයට එන්නට ‘අඩව් කස්තිරම්’ අල්ලන කණ්ඩායම් තුළද ඇති බවය. අඩව් කස්තිරම් ඇල්ලීමේ වරදක් නැත. නමුත් ඒ නිසා පොදු ජනයා දේශපාලන පක්ෂවල ප්‍රදර්ශනකාමී අඩව් කස්තිරම්, ප්‍රචාරක සංදර්ශනවල නරඹන්නන් වීමේ අභාග්‍යයට ගොදුරු වේ.
පොදු ජනයා සක්‍රිය දේශපාලනයට කැඳවීම යනු අරගලකාරී දේශපාලනයයි. අඩව් කස්තිරම් පෙන්වන දේශපාලන කණ්ඩායම් විසින් එම දේශපාලන සක්‍රියභාවය ප්‍රතික්ෂේප කරයි. එහි තේරුම සක්‍රිය ජනතා සහභාගිත්වය එනම් අරගලය යනු තමන්ට ජය අත්පත්කර ගන්නට මාවත නොවන බවය. තමන්ට ඇත්තේ මැතිවරණයකින් බලය මාරු කරගන්නා ඉතා ‘විනයගරුක මාවතක්’ බව ඔවුහු මහත් අභිමානයෙන් ප්‍රකාශ කරති. එපමණක් නොව, අරගලය යනු, මැතිවරණ කල්දැමීමට පාලකයන්ට දෙන අවස්ථාවක් බවද ඔවුන්ගේ දේශනාව විය.
‘පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක්’ ස්ථාපිත කිරීම යනු පාලකයන්ට නිදහසේ සිය න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයාමට ඇති අවකාශය ඇහිරීමක් බව 2022 මහජන නැගිටීමෙන් පෙන්වා දෙන ලද පාඩමයි. නමුත් එහි පාඩම මේ ‘විනයගරුක’ ‘ප්‍රදර්ශනකාමී’ දේශපාලන නායකයන් වටහා ගත්තේ නැත. පාර්ලිමේන්තුවෙන් පිටත ඇති එකම පාර ‘සන්නද්ධ අරගලය’ බවද ඔවුහු වැඩිදුර වදාරති. ඒ නිසා පාලක කණ්ඩායම්වල අදූරදර්ශී පරිහානික දේශපාලනයෙන් හොඳටම හෙම්බත්ව උන් පළවා හරින්ට වැර වෑයම් කරන ජනසමාජය භීතියට පත් කරමින් “බලාගෙනයි, ඔය එලියෙ බලය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, එයාලා සන්නද්ධ අරගලයකට යන්න යන්නෙ” වැනි විග්‍රහ ඔවුන් ඉදිරිපත්කර ඇත. අපි ඔය අරගලවලට නෑ. අපි විනයගරුක දේශපාලනය කරන්නෙ. යනු ඔවුන්ගේ ‘දේශපාලන විනය පිටකය’යි. එය දෙවසරකට පෙර එම නැගී සිටීමේ ආරම්භයේදීම ඔවුන් විසින් ජන සමාජය හමුවේ ප්‍රකාශ කර ඇත.
නමුත් දැඩි වෙහෙසකින් ජය ගත් විධායකය අසරණ කිරීමේ අරගලය ජයග්‍රහණය කරා ගෙනයාමට ඔවුන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවීමද සටහන්ව තිබේ.
ඔවුන් මැදිහත්වූයේ නම් ඒ, ‘පාර්ලිමේන්තුව වටලන්නට එන්න’ යැයි කියමින් කළ විගඩමයි. ගාලුමුවදොර පැවති අරගලකාරී තරුණ නැගිටීම සමස්ත ලාංකීය ජන සමාජය විසින් තමන්ගේ නැගිටීමක් බවට පත්කර ගෙන තිබුණු අවස්ථාවක ඔවුහු කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කළේ අරගලය, සිය දේශපාලන න්‍යාය පත්‍රයකට කරකවා ගැනීමේ අභිලාශය ඇතිවය. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි යන්න අපි අසා ඇති කියමනකි. පාර්ලිමේන්තුව වටලන්න ජනතාවට ආරාධනා කළේ සංවිධානාත්මක අරගලවලට මිස අසංවිධානාත්මක අරගල අපි කරන්නෙ නෑ කියු ඔවුන්මය. කිසිදු සංවිධානාත්මක බවක් නොවූ ‘පාර්ලිමේන්තුව වැටලීම’ නමැති කුමන්ත්‍රණ මෙහෙයුමේ අවසානය කුමක්ද? පැමිණි පිරිසට දේශපාලන නායකත්වයක් දෙන්නට හෝ යම් අරමුණකට එය පාලනය කරගන්නට නොහැකි වූ ඔවුහු පසුව පිට පාරෙන් දිරාමාරු වූ බව අපි දැන් දනිමු. (ඇත්තෙන්ම ගාලුමුවදොර අරගලය හුදු ගෝල්ෆේස් හුළං වැදීමක්, කුඩු කාරයන්ගෙ ගංජා කාරයන්ගෙ වැඩක් යැයි පාලක කණ්ඩායම් පළ කළ අවලාදවලට මුලපිරුවේද මේ විනයගරුක ප්‍රදර්ශනකාමීන්මය.)
දැන් සිදුවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක්ද, ජනාධිපතිවරණයක් වැනි සංවාදයක් අතරමැද වසරකින් මැතිවරණ කල්දැමීමට සූදානම්වන පාලක කුමන්ත්‍රණයකි. අරගලය මැතිවරණ කල්දමන හේතුවක් වේ යැයි කියමින් පලාත්පාලන මැතිවරණය කල්දැමූ විටද සිල් රැකි මේ විනයගත විපක්ෂය දැන් මේ පාලක රනිල්-රාජපක්ෂයේ කුමන්ත්‍රණකාරී දේශපාලනය හමුවේ ‘ශාන්ති-ශාන්ති’ යනුවෙන් ප්‍රාතිහාර්ය පාමින් “මැතිවරණය වේවා, මැතිවරණ වේවා, ප්‍රජාතන්ත්‍රවාදය ජයලබාවා” වැනි අධිෂ්ඨාන මන්ත්‍ර මතුරා මැතිවරණ දිනාගන්නා තෙක් අපි බලා සිටිය යුතුද?