Latestදේශීයමතවාද

නිර්මාල්ට පිළිතුරක්…..

(චන්දන සිරිමල්වත්ත)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය රනිල්ගේ ට්‍රෝජන් අශ්වයා ද? යනුවෙන් නිර්මාල් පළ කළ අදහස ගැන මගේ අදහස් මෙසේ ගොනු කරන්න කල්පනා කළා.

ඔබ ට්‍රෝජන් අශ්වයා ඇදලා කියන කතාව යම් පිරිසකගේ දේශපාලනය කිරීමේ අයිතියට එරෙහිව උසිගැන්වීමක් නොවෙන්නෙ කොහොමද? අපගේ විග්‍රහය අනුව, ජවිපෙ තුළට සහ ජාතික ජනබලවේගය තුළට නම්, ට්‍රෝජන් අශ්ව රංචු පිටින් පැමිණ සිටිනවා.

ඉන්පස්සෙ ඔබ මෙහෙමත් ලියලා . “වාමාංශිකයින්ට රනිල් ව්‍යාපෘතිය පරාජය කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය රනිල් ව්‍යාපෘතියට ඉඳහිට ගලකින් ගසා තම රැඩිකල් බව ලෝකෙට ප්‍රකාශ කිරීමට පමණි!!!”

වමේ පෙරමුණක් ගොඩනැගිය යුත්තෙ මැතිවරණය සඳහා පමණක් නොවෙයි. අද වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දෙන ලද වැඩපිළිවෙළ තියෙන්නෙ අපේ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න කරන දිශාවක. ඊට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ රටේ ප්‍රගතිශීලි වාම දේශපාලනයට අභියෝගයක්. නමුත් අප කරන්නේ ඔබ කියන විදියට ‘ඉඳ හිට ගල් ගැසීම’ නෙවෙයි. අපි 2022 ජූලි 20 රනිල් පැමිණි දා සිටම රනිල් ඇතුළු පාලක කණ්ඩායමේ ව්‍යාපෘතිය විසින් රටට විකල්පයක්, ආර්ථික අර්බුදයට පිළියම් නොමැති බව අවධාරණය කරමින් ප්‍රචාරක-මතවාදී ක්ෂේත්‍රයේ වගේම දේශපාලන-සංවිධාන ක්ෂේත්‍රයේ වැඩ කරමින් ඉන්නවා. ගොඩනැගෙන වමේ දේශපාලන පෙරමුණ, මැතිවරණ පෙරමුණක් යැයි ඔබ නාමකරණය කළ විට ඒක මැතිවරණයට පමණක් ලෙස අවතක්සේරු කළ විට ඔබට පහසුයි. අනික් කාරණය ජාතික ජනබලවේගයට එරෙහිව රනිල්ට පක්ෂපාත දේශපාලනයක් ලෙස එය වර්ගීකරණය කිරීම වැරදියි. ඒ හරහා මේ රටේ තට්ටු මාරු දේශපාලනයෙන් පීඩාවට පත්ව, අප සමාජයක් ලෙස ඇද ගෙන ගිය මාවතේ වෙනසක් අපේක්ෂා කරන, ඒ නිසාම දැනට ඇතිව තිබෙන දේශපාලන රැල්ලට අනුගතව සිටින ජනතාව අතර ද්වේශයක් ඇති කළ හැකියි.

ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ වමේ දේශපාලනය අභියෝගයක් ලෙස දකින දේශපාලන කණ්ඩායම් විසින් එම ද්වේශය හොඳින්ම පාවිච්චි කරන්න නියමිතයි. ජාතික ජනබලවේගයේ අප සමග ඇසුරු කරන සංවාද කරන වාද විවාද කරන කිසිවකු අප හා සතුරු ප්‍රතිවිරෝධයක නෑ. මැතිවරණ කාලයකදි බෙදුම් රේඛා උත්සන්න කිරීම් හරහා ජනතාව ප්‍රතිගාමී ඛන්ඩනයකට ඇද දැමීමේ වගකීම දේශපාලන පක්ෂ හා ව්‍යාපාර විසින් දැරිය යුතුයි.

නමුත් ඒක ඔබ වැනි කෙනෙකු විසින් නොකළ යුතු යැයි මම යෝජනා කරනවා.

නිර්මාල් රංජිත් දේවසිරි විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබා ඇති පෝස්ටුුව පහතින්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය රනිල්ගේ ට්‍රෝජන් අශ්වයා ද?

==========================

පෙනෙන විදිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ පෙරමුණක් ගොඩනගමින් සිටී. පෙසප දේශපාලනයේ මිතුරන් වන Sumanasiri Liyanage Vidarshana Kannangara Keerthi Kumara Maddumapatabendige වැනි අය මේ මේ මැතිවරණ පෙරමුණ ගැන තදබල නොසතුටින් සිටින බව පෙනේ. ඔවුන්ගේ අදහස වන්නේ මැතිවරණවලදී ජාතික ජන බලවේගයට සහය දිය යුතු බවයි. මේ විරෝධය පෙසප උපායමාර්ගයේ දේශපාලන නිරවද්‍යතාවය බරපතල ලෙස පරීක්ෂාවට ලක්කරන්නකි. පෙසප ට මැතිවරණවලට ඉදිරිපත් වීම මාලිමාවේ ඡන්ද පදනමට කිසිදු බලපෑමක් නොකලත් එය ප්‍රචාරක වශයෙන් මාලිමා විරෝධී අපේක්ෂකයාට බලවත් සහයක් වනු ඇත. ඒ අර්ථයෙන් පෙසපට සිදුවන්නේ සජිත්ගේ හෝ රනිල්ගේ ට්‍රෝජන් අශ්වයාගේ භූමිකාව රග දැක්වීමට පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *