Latestදේශීයමතවාද

නිර්මාල් දේවසිරි දකින්නට කැමති ට්‍රෝජන් කථාව……

(විදර්ශන කන්නන්ගර)

ඇගමෙම්නොන් ප්‍රමුඛ ග්‍රීක සටන්කරුවන් යනු රනිල් වික්‍රමසිංහ මූලික එජාපයයි.

ට්‍රෝයි පුරය යනු ජාතික ජන බලවේගය හා වෙනසක් පිළිබද ජනතා අපේක්ෂාවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු රනිල්ගේ එජාපය විසින් උපායික තෑග්ගක් ලෙස ට්‍රෝයි පුරයට එවන දැව අශ්වයාය.

තමන් දැනටම ජයග්‍රහණය කර ඇතැයි සිතන ට්‍රෝයි සෙබළුන් ට්‍රෝජන් අශ්ව තිලිණය ට්‍රෝයි පුරයට ඇතුල් කර ගන්නා අතර අවසානයේ එය තුළ සැගවී සිටින ග්‍රීක රණ ශූරයන් මුළු ට්‍රෝයි පුරයම වනසා දමයි.

රනිල් ගේ එජාපය ජාජබ පුරයට මේ වනවිටත් ට්‍රෝජන් අශ්වයන් කිහිපදෙනෙකු ඇතුළත් කර ඇත. IMF වැඩපිළිවෙල ඇතුළු ගෝලීය ධනවාදයේ ණය-මූල්‍ය විසදුම, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ ව්‍යාපාරික හා භූ දේශපාලන මෙහෙයුම හා මධ්‍යම-අතරමැදි පංතීන්ගේ වෙළද-පරිභෝජන සංතෘප්තිමය අපේක්ෂා ඇතුළු මෙම අශ්වයන් මේ වනවිටත් තමන් ජයග්‍රහණය කර ඇතැයි සිතා සිටින ජාජබ සෙබළුන් සිය ට්‍රෝයි පුරයට කැමැත්තෙන් ම ඇතුළත් කර ගෙන ඇත.

මේ මොහොතේ දේශපාලනය තුළ පැහැදිළි ස්ව-අනන්‍ය ව්‍යාපෘතීන් ඇත්තේ පාර්ශවයන් දෙකකට පමණී.

ඒ රනිල්ගේ එජාපයට හා පෙරටුගාමී වාමාංශයටයි.

රනිල්ගේ එජාපය සිය පාංතික අරමුණ කෙරෙහි අධිෂ්ඨානයෙන් යුතුව IMF ඇතුළු ආර්ථික නව ලිබරල්කරණයේ මෙහෙයුම එහි අවසාන පරිපාකය කරා රට තුළ වේගයෙන් තහවුරු කිරීමට සූදානම් ව සිටියි.

බහුතර පහල මාලයේ ජනතාව කෙරෙහි වන පංති පක්ෂපාතිත්වයෙන් යුතුව IMF ඇතුළු නව ලිබරල් ආර්ථික මෙහෙයුමට,එහි ස්වාභාවිකකරණයට හා කලාපීය ආර්ථික-භූ දේශපාලන අතපෙවීම් වලට විරුද්ධව කොන්දේසි විරහිතව එරෙහි වන ව්‍යාපෘතියක් ජනගත කරමින් සිටින්නේ පෙරටුගාමී වාමාංශයයි.

හරියටම කිවහොත් රනිල් ව්‍යාපෘතියේ මුහුණට මුහුණ සතුරා වන්නේ පෙරටුගාමී වාමාංශයයි.

එහෙත් එවැනි ද්වන්ද සතුරකු ප්‍රතිවාදියාගේම ට්‍රෝජන් අශ්වයකු ලෙස හැදින්වීමට නිර්මාල් වැනි ප්‍රයෝජ්‍යතාවාදී මතධාරියකුට පහසු වී ඇත්තේ මන්ද ?

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ පෙරටුගාමී වාමාංශයේ මූලිකම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමය’ ඇතුළු රාජ්‍යයේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වීම සම්බන්දයෙන් දක්වන අසංගත හා ව්‍යාකූල ප්‍රතිපත්තියයි. එය එක් අතකින් ‘රාජ්‍ය බලය’ සම්බන්දයෙන් පෙසප පැටලී සිටින න්‍යායික උගුලක් යැයි ද කිවහැකිය. ‘දියවන්නාවෙන් පිටත බලය’ ගැන අදහස පමණක් ප්‍රවර්ධනය කරන ඔවුන් මැතිවරණයන් පැමිණි විට හැසිරෙන ආකාරය ‘රාජ්‍ය බලය’ පිළිබද ඔවුන් දරන ආන්තික තෝරාගැනීමේම වියවුල් සහගත පිළිඹිබුවක් වේ.

එහෙයින් මැතිවරණයන් ඉදිරිපිට පෙසප පෙන්නුම් කෙරෙන්නේ ‘හොද්දේ කරපිංචා’ ලෙසය. ජන අරගලයට පෙසප අවශ්‍යම වුවද ඊනියා ආණ්ඩු බල මාරුවීම් වලදී පෙසප යනු ඊට බාධාකරන්නකු ලෙස බැහැර කෙරෙයි. මැතිවරණ වලදී ‘ට්‍රෝජන් අශ්ව කථා’ වැනි මෝඩ තක්කඩි ලේබල් පෙසපට ඇලවිය හැකිව ඇත්තේ එ’නිසාය.

ජනතාව තුළ කලක් තිස්සේ මුල් බැසගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී ජනවහර වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය විකල්ප මහජන බලයක් ලෙස අභ්‍යාස කිරීමට යෝජනා කරන ව්‍යාපාරයක් කළ යුත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනවහර තුළම ස්ථානගත වී, එහි ජනතා නියෝජිතයන් ද වෙමින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තෙරපාලීමයි.

පෙරටුගාමී වාමාංශය මැතිවරණ ක්‍රියාවලියට සහභාගි විය යුත්තේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළත් සිය බලය තහවුරු කරගැනීමටය. ඒ මිස මැතිවරණ වේදිකාවන් සිය දේශපාලන මතය ප්‍රකාශ කිරීමට පමණක් යොදා ගෙන, තමන්ට චන්දය අවශ්‍ය නොවන බව වැනි කතා ද කියමින්,ඉතාම සුළු චන්ද ප්‍රමාණයක් ගෙන සිය දේශපාලන බලය පොදු මහජන අවකාශය තුළ අවතක්සේරු කරගැනීමට නොවෙයි.

ලංකාවේ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂයන්ගේ සිට පැරණි ජනතා විමුක්ති පෙරමුණ ද දක්වා වාමාංශික අක්තපත්‍රය දැරූ ව්‍යාපාරයන් මැතිවරණ වලදී සිය බලය උරගා බැලූ ආකාරයන් ගැන පෙසප වැනි කැපවුණු දේශපාලන සංවිධානයන් පාඩම් උගත යුතුය.

පෙරටුගාමී වාමාංශය පැහැදිළි ප්‍රතිපත්ති මත පිහිටා ජනතාව සංවිධානය කරන ව්‍යාපාරයක් ලෙස තමන් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනස් වන ආකාරය මැතිවරණ ක්‍රියාවලියේ මහජන පරිමණ්ඩලය තුළද අපේක්ෂා සහගතව පිළිඹිබු විය යුතුය.

පෙසප වැනි ඉතාම සීරියස් ව්‍යාපාරයක් මැතිවරණ පැමිණි විට ‘බංකුව යටට රිංගිය යුතු’ යැයි යෝජනා කරන පටු ප්‍රයෝජ්‍යතාවාදී මතදරන්නන්ගේ පහසු විනෝද ඉලක්කයක් විය යුතු නැත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?