Latestදේශීයමතවාද

අඩු නපුර, පොදු නපුර සහ අසම්පූර්ණ යහපත

සම්ප්‍රදායිකව ජාතික මැතිවරණ වලදී වාමාංශික දේශපාලනය නියෝජනය කළ අය අතර විවාදය තිබෙන්නේ ‘අඩු නපුර’ (‘lesser evil’) තෝරා ගන්නවා ද ‘වමේ අපේක්ෂකයෙක්’ තෝරා ගන්නවාද යන්න සම්බන්ධයෙනි. නිදර්ශනයක් ලෙස 2019 දී අහිලන් කදිරගාමර් වැනි වාමාංශිකයන් සිටියේ සජිත් ප්‍රේමදාස නම් එම මොහොතේ ‘අඩු නපුර’ තෝරා ගත යුතු වනවා යන ස්ථාවරයේ ය. අප සිටියේ ජාජබ අපේක්ෂකයා වෙනුවෙනි. මේ සෑම තෝරා ගැනීමකම වාසි සහ අවාසි තිබේ.

අපට විවර වී තිබෙන සුවිශේෂ ඓතිහාසික අවස්ථාව තේරුම් කළ හැකි පහසු ආකාරයක් වන්නේ මෙය තවදුරටත් ‘වැඩි නපුර සහ අඩු නපුර’ අතර තෝරා ගැනීමක් නොවේ යන්නයි. ජාජබය යනු කිසි සේත් ‘අඩු නපුර’ නොවේ. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ සම්ප්‍රදායික ප්‍රධාන ධාරාවේ පක්ෂ විසින් අඩුවෙන් හෝ වැඩියෙන් නියෝජනය කරන ‘පොදු නපුර’ කිසිදු අයුරකින් නියෝජනය නොකරන වාම දේශපාලන තෝරා ගැනීමකි.

එය අපේ රටේ වාමාංශිකයන් සියලු දෙනා පෙනී සිටිනා අරමුණු සියල්ල නියෝජනය නොකරනවා විය හැක. එම නිසා අවශ්‍යනම් එවැනි කෙනෙකුට එය ‘අසම්පූර්ණ යහපත’ (‘incomplete good’) කියා නම් කළ හැක.

දැන් තෝරා ගැනීම තිබෙන්නේ ‘සම්පූර්ණ යහපත’ සහ ‘අසම්පූර්ණ යහපත’ අතරනම්, සැකයකින් තොරවම සම්පූර්ණ යහපත තෝරා ගැනීමට අපට සිදුවෙයි. නමුත් ගැටලුව වන්නේ එවැනි තෝරා ගැනීමක් මෙහිදී අපට නොමැති වීමයි. ඒ වෙනුවට අපට දැන් තිබෙන්නේ ‘පොදු නපුර’ සහ ‘අසම්පූර්ණ යහපත’ අතර තෝරා ගැනීමකි. එවිට අප කෙසේ හෝ උත්සාහ කළ යුත්තේ ‘අසම්පූර්ණ යහපත’ දිනවන්න මැදිහත්වීම යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මෙයට හේතුව වන්නේ මෙහි ‘සම්පූර්ණ යහපත්’ යනුවෙන් තෝරා ගැනීමක් නොමැති වීමයි.

මෙහි තීරණාත්මක ප්‍රතිඵලයක් වන්නේ සම්ප්‍රදායිකව ‘වමේ පොදු අපේක්ෂකයා’ යන තෝරා ගැනීම මෙහිදී නොමැති වීමයි. අපට තෝරා ගැනීම තිබෙන්නේ ‘වැඩි නපුර’ සහ ‘අඩු නපුර’ අතරනම් කෙනෙකුට මේ තෝරා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබේ. එවැනි සන්දර්භයක දී අනාගතයේ එන ‘යහපත්’ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් අපට ‘තුන්වැනි බලවේගයක්’ වෙනුවෙන් පෙනී සිටීම තෝරා ගැනීමක් ලෙස සැලකිය හැකිය. බලය ලබා ගැනීමේ අර්ථයෙන් එය තෝරා ගැනීමක් නොවන්නේ වුවත් මේ මොහොතේ යහපත් තෝරා ගැනීමක් නොමැති වන නිසා වෙනත් අනාගතයක් වෙනුවෙන් සංකේතීයව පෙනී සිටීමේ අර්ථයක් එහි දී තිබේ.

මෙවර අහිමි වී තිබෙන්නේ මෙම තෝරා ගැනීමයි. අපට දැන් තිබෙන්නේ ‘වැඩි නපුර’ සහ ‘අඩු නපුර’ අතර තෝරා ගැනීමක් නොවේ. ඒ වෙනුවට තිබෙන්නේ ‘පොදු නපුර’ සහ ‘අසම්පූර්ණ යහපත’ අතර තෝරා ගැනීමකි. එම නිසා ‘අඩු නපුර’ තෝරා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මෙහිදී කෙනෙකුට හිමි වන්නේ නැත. කිසියම් මැදිහත්වීමකින් ඍජුව හෝ වක්‍රව සහය වන්නේ ‘පොදු නපුර’ වෙනුවෙන් නම් එවැනි මැදිහත්වීම් පරාජය කිරීමට ද සිදු වීමයි. එසේ නොමැති වනවා යනු අප ද වක්‍රව ‘පොදු නපුර’ වෙනුවෙන් පෙනී සිටිනවා යන්නයි.

මෙය අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මොහොතක් වන්නේ මේ නිසාය. මෙවැනි තෝරා ගැනීමක් මෙයට පෙර අපට ලැබුනේ 1947 පළමු මහා මැතිරණයේ දී පමණි. අවාසනාවට අභ්‍යන්තර බෙදීම් නිසා අපට ඒ අවස්ථාව අහිමි විය. 1952 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආගමනයත් සමග එවැනි තෝරා ගැනීමක් නැවත ලැබුනේ නැත. එතැන් සිට අපට සැමදා තිබුනේ ‘වැඩි නපුර’ සහ ‘අඩු නපුර’ අතර තේරීමකි.

නිදහසින් පසු පළමු වරට අපට මැතිවරණයක දී ‘පොදු නපුර’ සහ ‘අසම්පූර්ණ යහපත’ අතර තෝරා ගැනීමක් ඇත. මේ දෙක හැර වෙනත් තෝරා ගැනීමක් මෙවර නැත.

අපි දැන් අපේ තෝරා ගැනීම් සිදු කරමු!

@බටහිර ඉවුරේ දර්ශනය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?