Latestදේශීය

ආසයි බයයි – වාහන පර්මිට් යෝජනාව පැටලුමක් වෙයි

(සුජිත් හේවාජුලිගේ)

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට  පසුගිය සතියේදී  ඉදිරිපත්වී  ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන්ටද රාජ්‍ය සේවකයන්ට  දෙන වාහන බලපත්‍රයට සමාන බලපත්‍රයක් දී   රටට වාහන ගෙන්වීමට අවසර ලැබෙන අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍රය නිකුත් කරන ලෙසටද  වශයෙන් එම අලුත් යෝජනාව ඉදිරිපත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම යෝජනාවද  ජනාධිපතිවරයාට යොමු කරන බව   කතානායකවරයා එහිදී  ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන් මුලින් යෝජනා කර තිබුණේ  ඔවුනට කලකට පෙර ලැබුණු කෝටි දෙකකට වැඩි වටිනා වාහන බලපත්‍රයයි.

රාජ්‍ය සේවකයන් දෙදහසකට තීරු බදු රහිත  වාහන බලපත්‍ර දැනට නිකුත් කර ඇති අතර වාහන ආනයනය කිරීමේ තහනම හේතුවෙන් එම බලපත්‍ර වෙනුවෙන් වාහන ලබා ගැනීම මෙතෙක් නොහැකිවී ඇතැයි  පැවසේ.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොපමාව ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ  මන්ත්‍රීවරු 116  දෙනෙක්    අත්සන් කළ ලියවිල්ලක්   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  පසුගියදා බාර දුන්හ.

අනතුරුව එම ලියවිල්ල කතනායකවරයා විසින් ජනාධිපතිවරයාට බාරදෙනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහකාරක  සභාවෙන් යෝජනාවක් එවන ලෙසට ජනාධිපති කාර්යාලය  ඉන් අනතුරුව දැනුම් දී තිබිණැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ගේ අලුත් යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර  රජයේ සේවකයන්ට ලබා දී ඇති වාහන බලපත්‍රයට වාහන මිලදී ගැනීම සඳහා  නුදුරේදීම අවස්ථාව සලසා දීමට රජයේ අවධානය යොමු වී ඇත.

වාහන බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද කඹ ඇදීම් හටගෙන ඇතැයි  වාර්තාවේ.

ඊට හේතු වී ඇත්තේ ඡන්දයක් ලඟ ළඟ එන අවස්ථාවක වාහන බලපත්‍ර ලබා ගැනීමෙන් ඡන්ද පදනමට බලපෑම් ඇතිවේ යයි සමහර මන්ත්‍රීවරුන් මත පල කිරීම නිසා යැයි  දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ට මීට පෙර ලබා දුන්  වාහන බලපත්‍රය වෙනුවට රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රය ඉල්ලා සිටීමද එහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *