Latestදේශීය

ප්‍රභල ඇමතිවරයෙක් සහ හිටපු ඇමතිවරු බැංකුවලට තියපු පොල්ල රු. කෝටි 65000ක්

බදුනොගෙවන, ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු අතර, ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම් ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ හෝමාගම ආසනයේ ජනහමුවකට එක්වෙමිනි.

ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකු වලට කෝටි 65000කට වැඩිය පොලු තියා ඇති බවත්, ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් මේ වනවිට ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කරනවා මදිවාට ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට කටයුතු පිඹුරුපත් සකස් කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා ජනහමුව අමතමින් පැවසීය.

මෙම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණේ පළාත් පාලන කටයුතු නියෝජ්‍ය ලේකම් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තරිඳු දිලීප, රන්ජන්, ලලීන්ද්‍රා යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබුණි,

මෙම ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා

‘‘අද මම මේ එන ගමන් මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ගියා. දුම්රියයි බස් එකයි එකට එකතු කරලා මේ හෝමාගම ප්‍රශ්නයට යම් විසඳුමක් දෙන්න තමයි අපි හැදුවේ. අපි උඩින් යන දුම්රිය පාරක් හදන්න හැදුවා. ඒ පාර නැවැත්තුවා ගෝඨාභය මහත්තයා බලයට ඇවිල්ලා. ඒ කෝච්චි පාර හදන්න හිටපු ඒ ප්‍රධාන ඉංජිනේරුතුමා දැන් ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් භාරව කටයුතු කරගෙන යනවා. රජයේ කාර්යාල ඔක්කොම මාකුඹුරේ උප කාර්යාල අරින්න අපි සැලසුම් කළා. අද ඒ ඉඩම් ඔක්කොම වල් බිහිවෙනවා.

2022 අප්‍රේල් මාසේ රට කඩා වැටුණා. අපි හැමෝම තෙල් පෝලිම්වල හිටියා. පැය දාහතරක් ලයිට් කැපුණා. ගෑස් තිබුන් නෑ. ගොවියට පොහොර තිබුන්නෑ. ඉස්පිරිතාලේ බේත් තිබුන්නෑ. මං අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ ඒ සෙල්ලං ටික. ඇයි එහෙම වුණේ? එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි සංවර්ධනය කියලා වැඩ ටිකක් කරගෙන ගියා. ඒවට අපි ණය ගත්තා. පොලියට. ගෙවා ගන්න බැරි වුණා. අපි බංකොලොත් වුණා. ඊට පස්සේ අපිට බෙහෙත් ටික, පෝර ටික, කෑම ටික ගන්න බැරි තත්වයක් ඇති වුණා. ඕක තමයි අපට සුද්ද සිංහලෙන්ම වෙච්ච දේ.

දැන් අපිට තෙල් පෝලිම් පේන්න නෑ. හැබැයි තෙල් මිල තුන් ගුණයයි. පොහොර නැත්තේ නැහැ තියෙනවා. හැබැයි පොහොර හත් අට ගුණයයි. ඔය කිලෝ පනහේ පොහොර මිටිය දැන් රුපියල් එකොලොස් දාහක්, දොළොස් දාහක්. තුන්සිය පනහටත් තිබුණා. එක්දහස් පන්සීයටත් තිබුණා. ඊළඟට විදුලි ගාස්තු විදුලිය නම් විසි හතර පැයම දෙනවා. විදුලි ගාස්තු තුන් ගුණයකින් වැඩි වෙනවා. ඒක අපේ මිනිස්සුන්ට දරාගන්න බැහැ. ගෑස් මිල වැඩි වෙලා. බෙහෙත් මිල හතර ගුණයකින් විතර වැඩි වෙලා. සමහර බෙහෙත් තාම නැහැ. දැන් මේවට විසඳුම් නැද්ද? දැන් අපේ දැන් තෙල් පෝලිම නෑ. හැබැයි තෙල් මිල වැඩියි. අපිට දරාගන්න බෑ. විදුලිය නම් කැපෙන්නේ නෑ තමයි. හැබැයි විදුලි ගාස්තු වැඩි වෙනවා. මේක අඩු කරන්න බැරි වෙනවා. මේකෙන් අපේ පවුලේ වියදම අඩු කරන්න අපිට දායක වෙන්න බැරිද? මේක කරන්න පුළුවන් මිත්‍රවරුනි. ඔබතුමාලට මතකයි දෙදාස් පහළවේ ඒ ආණ්ඩුව ආපු වෙලාවේ සිරිසේන ජනාධිපතිතුමාගේ. මම තමයි විදුලිබල, බලශක්ති ඇමති. අපි දවස් දාහතරක් ඇතුළත විදුලි ගාස්තු සියයට පහළවකින් අඩු කළා.. ලංකා විදුලිබල මණ්ඩලය කෝටි දෙදහකින් ලාභ වුණා. අපි එකසිය පනස් හතරට තිබිච්ච පෙට්‍රල් එකසිය දාහතට ගෙනාවා. එකසිය තිස් හතරට තිබිච්ච ඩීසල් රුපියල් අනූපහට ගෙනාවා. ඛනිජ තෙල් සංස්ථාව බංකොලොත් වුණේ නෑ. රට බංකොලොත් වුණේ නෑ.

මොකක්ද මේ රහස? කළමනාකරණය, කළමනාකරණය බැරිනම් ඔය මොන කතා පැවැත්තුවත් රට ගොඩනගන්න බෑ.

අම්මගේ මිනිය සාලය මැද තියාගෙන බූරු ගහනවා වගේ වැඩක් තමයි අද මේ ව්‍යවසායකයෝ කියන පිරිසයි, රජයයි කරගෙන යන්නේ. මේවයි සහනය ජනතාවට ලබා දිය යුතුයි.

පසුගිය මාර්තු මාසේ ලංකා විදුලිබල මණ්ඩලය කිව්වා අපි සියයට හතරකින් විතරක් අඩු කරන්නම් කියලා.,සීයට විසිදෙකහමාරකින් ලයිට් බිල අඩු කළේ ආණ්ඩුව නෙමෙයි. අපියි ඒකට මැදිහත් වුණේ.

අලුතෙන්ම යෝජනා කරලා තියෙනවා වස්තු බද්ද කියලා එකක්. ඒ කියන්නේ තව බදු වර්ග දෙකක් එනවා ඉස්සරහට. ඔය වැට් අරවා මේවාට අමතරව.

වස්තු බද්ද කියන්නේ මේ ගෙවල් දොරවල් වලට යාන වාහන ඉඩකඩම් වලට, ඒවායේ වටිනාකම බලලා බදු ගහන එක. වරිපනම් නෙමෙයි. අපි අපේ ගෙදරින් අපි අපේ වත්තෙන්, අපි අපේ යාන වාහන වලින්, ධනය ඉපදෙව්වත්, නැතත් බදු ගෙවන්න වෙනවා. ඒක ඡන්දෙන් එහාට දාලා තියෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දට.

අපිට යම් යම් දෑ මවුපියන්ගෙන් ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට ලැබෙනවා. අම්මගෙන් මාලය ලැබෙනවා. ගෙදර ඇත්දළ ජෝඩුව තියෙනවා නේද? ඔය වගේ අපිට පරම්පරාවෙන් ලැබෙනවා. මේ පරම්පරාවෙන් ලැබෙන දේවල් වලටත් බද්දක් ගහන්න වෙනවා. අන්න ඒක නිසා තමයි මේ සංගණනය කාලේ.

ජනාධිපතිතුමාට උත්තරයක් තියෙනවා. මොකක්ද උත්තරේ? මට සල්ලි අච්චු ගහන්න බෑ. දැන් සල්ලි අච්චු ගහන්න තහනම් කරලා තියෙන්නේ. මහ බැංකුව දැන් ස්වාධීන කරලා තියෙන්නේ. මට කවුරුවත් ණය දෙන්නෙත් නෑ. ඇයි? රට බංකොලොත්. මට දාහතර ලක්ෂයක් රජයේ සේවකයින්ට පඩි ගෙවන්න ඕනේ. ඉස්පිරිතාල පවත්වාගෙන යන්න ඕනේ. ඉස්කෝල පවත්වාගෙන යන්න ඕනේ. අස්වැසුම කරන්න ඕනේ. ගොවියට සහනාධාර දෙන්න ඕනේ. මම බදු ගහනවා.

ඒත් රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකයන්ට කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබාදීලා තියෙනවා. ඒ බදු සහන ලබා නොදුන්නා නම් ඔය ජනවාරි පළවෙනිදා ගහපු බදු ගැහිල්ල අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඒකෙන් කෝටි හැටදාහයි බලාපොරොත්තු වෙන්නේ. ලක්ෂෙක සහන දීලා තියෙනවා. තව එක්ලක්ෂ විසිදාහක් බදු පොලුකාරයෝ ඉන්නවා. ඒ බදු පොලු කාරයින්ගෙන් බදු එක්කහු කරන් නෑ.

පාලකයාගේ ක්‍රමය විය යුත්තේ, බදු ගෙවිය හැකි අයගෙන් බදු අයකර ගැනීම.. මම අභියෝගයකුත් කළා පාර්ලිමේන්තුවේ, ඕවා ගන්න බෑ කියනවා නම්, හය මාසෙකට අපිට දෙන්න. අපි අරන් පෙන්නන්නම්.

ඒ වගේම බැංකුවලට අද ගියහම අපිට ණයක් ගන්න බෑ.ඔය මහ බැංකුවේ අධිපතිතුමා කියන පොළියට ණය හම්බවෙනවද? සීයට නමයට කොහොමත් දෙනවද? නෑ. ඇයි? බැංකුවලට පොලු තියලා තියෙනවා කෝටි හැට පන්දාහකට වැඩියි.

මේ රටේ ප්‍රබල ඇමති කෙනෙක් ඇතුළු හිටපු ඇමතිලා ඇතුළු තව විශාල පිරිසක් බැංකුවලට පොලු තියලා තියනවා. ඒගොල්ලන්ගෙන් බැංකු අය කරගන්නෑ.

ලක්ෂ හතළිහක් පිටරට ඉන්නවා. අපේ මිනිස්සු. මේ අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කීයක් හරි මෙහෙට ගෙන්න ගන්න. මේගොල්ලන්ගේ වෙන සේවයක් නැද්ද? රටට ආයෝජන ගෙන්න ගන්න බැරිද මේගොල්ලෝ හරහා?

අපි දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙළ අපි ජනගත කරලා තියෙනවා. දැන් ඒ වැඩපිළිවෙල යටතේ එකතු වෙන්න පුළුවන් පිරිස ඒ සඳහා එකතු කර ගැනීම තමයි අපි කරගෙන යන්නේ.

යම් පිළිවෙලක් හැදීගෙන එන හැම වෙලාවෙම මේ රටේ කැරලි ඇති වුණා. නිදහසෙන් පස්සේ හත් හැත්තෑ එකේ කැරැල්ල ඇති වුණා. අවුරුදු දෙකක් නාස්ති වුණා. ඊළඟට අසූ හත, අසූ නමය කැරලි ඇති වුණා. උතුරේ සන්නද්ධ සටන් ඇති වුණා. ඉන්දියන් හමුදාව ආවා.

එල් ටී ටී ඊ එකත්, ජනතා විමුක්ති පෙරමුණත්, ඉන්දියන් හමුදාවත් ඒ වගේම අපේ ආරක්ෂක අංශත් ඇතිවෙච්ච ඒ ගැටුම් නිසා රටට බොහෝ දේ නැති වුණා. ඒක නිසා දැන් ඇවිල්ලා අපි සුද්දවන්තයෝ කියන්න බැහැ. ප්‍රභාකරන් පිටස්තරයෙක් නෙමෙයි. රෝහණ විජේවීර පිටස්තරයෙක් නෙමෙයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් දාහතයි, ඔක්තෝම්බර් දාහතයි අතරේ සෙනසුරාදා දිනයක පැවැත්වෙනවා. ඒක පැවැත්විය යුතුමයි. එතනින් පත්වෙන ජනාධිපතිවරයා අනිවාර්යෙන් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඊළඟට අවුරුදු ගාණක් නොපවත්වපු පළාත් සභා ඡන්දය, බලහත්කාරයෙන් යටපත් කරපු අර පළාත් පාලන ඡන්දය, තියන්න.

ඒක නිසා මේක තමයි අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය. මේක නිවැරදිව පාවිච්චි කරන්න.”

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?