Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ තනතුර අහිමි වෙයි

(ප්‍රින්ස් ගුණසේකර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමිවී යයි.

ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සේවා කාලය ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු අවසන්වීමට නියමිත වුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා එය දීර්ඝ කළේය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් පිටත්වන අතර, හෙට දින ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් මහතා 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් කළ කොන්ත්‍රාත්තුව පසුගිය අප්‍රේල් 14 දිනෙන් අවසන් වීමට නියමිතව තිබියදී සේවා දිගුවක් ලබා දුන්නේය.

කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය වෙනුවෙන් දේශීය පුහුණුකරුවකු තෝරා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවතින බවත්, ලොව දක්ෂතම පුහුණුකරුවකු ශ්‍රී ලංකා කණ්ඩායමට බඳවා ගැනීමට අවස්ථා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙක් ‘දිනමිණ’ට පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ බඳවාගත යුතු බැවින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරගාවලියට තාවකාලික පුහුණුකරුවකු පත් කිරීමේ සූදානමක් පවතී.

ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ වසර 2කට වැඩි කාලය දෙස ආපසු හැරී බලන විට ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ කණ්ඩායම ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලිය දිනා ගැනීමට සමත් වූවේය. ඔස්ට්‍රේලියාවට එරෙහි වෝන් – මුරලි ටෙස්ට් තරගාවලිය සම කිරීම හා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කිරීම කැපී පෙනේ. ඒ අතර ටෙස්ට් තරග, එක්දින තරග හා විස්සයි20 තරග ජයග්‍රහණ අත්කර ගත්තේය.

ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරද්දී එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන (50) ඉන්දියාවට එරෙහිව කොළඹදී වාර්තා කිරීම හා විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු ගණන (77) දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක්හිදී වාර්තාවීම පිළිබඳ බොහෝ කතා ඇති විය.

1996 සිට 2001 දක්වා එංගලන්ත පිලේ වේග පන්දු යවන්නකු ලෙස සේවය කළ අත්දැකීම් හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ වේග පන්දු බළඇණිය ශක්තිමත්වීම කැපී පෙනුණ දෙයකි. මෑතකදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ තරුණ වේග පන්දු යවන්නන් ඉක්මනින්ම ජාත්‍යන්තරය ජය ගැනීම ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ් මහතාට යම් ගෞරවයක් ගෙන දෙන්නකි.

එංගලන්ත හිටපු පුහුණුකරු වූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී අළුබඳුන ටෙස්ට් තරගාවලිය 4-0කින් පරාජයවීමත් සමඟ එංගලන්තය ඔහුව ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා 2021දී ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයට විවෘත අයදුම්පත් කැඳවීමකින් පසු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා තෝරා ගැනිණි. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට අමෙරිකානු ඩොලර් 30,000ක මාසික වැටුපක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 9ක්) ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පුහුණු කිරීම වෙනුවෙන් ගෙවා ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?