Latestවිදේශීය

ඊශ්‍රායලයට නියත පරාජයක් හිමිවනු ඇති

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට තීරණය කර තිබුණත් එවැනි යුද්ධයකදී නිසැකවම ඊශ්‍රායලයට පරාජය අත්වන බව ඉරානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවේය.

හිස්බුල්ලා සංවිධානයට ලෙබනනය ආරක්ෂා කරගනිමින් සිය සංවිධානයද ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන බව ඉරානය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල රජය බලයේ සිටීම සඳහා අනුවණ තීරණයක් ගතහොත් ඉන් දෙරට නව යුද්ධයකට තල්ලු වී ඉන් ලෙබනනයේ යටිතල පහසුකම්වලට බරපතළ හානියක් සිදුවනු ඇති බවත් නමුත් අවසානයේ පරාජය ඊශ්‍රායලයට අත් වනු ඇති බවත් ඉරානය පැවැසුවේය.

ඇතැම්විට ඊශ්‍රායලය තමන්වම විනාශ කර ගැනීමට උත්සාහ දරණ කාලය එළඹ තිබිය හැකි බවද ඉරානය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය විදේශ කටයුතු අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පසුගියදා ඉරානයේ සහාය හිමිවන හිස්බුල්ලා සංවිධානයට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඔහු කියා සිටියේ හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට එල්ල වී ඇති තර්ජනයට පිළිතුරු දීම සඳහා අවශ්‍ය තීරණ ළඟදීම ගන්නා බවයි. ඉරානය සහ දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානවලට පිළිතුරු දීම සඳහා ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග වලදී ලෝකය කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය ලබාදිය යුතු බවද ඔහු පැවැසුවේය.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ආරම්භ වුවහොත් අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇතත් කිසිම විටෙකත් ඇමෙරිකානු හමුදා ඊට මැදිහත් නොවනු ඇති බව ඇමෙරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *