Latestදේශීය

චන්නට හැරෙන තැපෑලෙන් නලින්දගෙන් පිළිතුරු

ලංකාවේ ගොවි ජනතාව අතර පැතිර යන රෝග නිධානය සොයා නොගත් නිධන්ගත වකුගඩු රෝගය නිට්ටාවටම තුරන් කිරීම සඳහා මාලිමාවේ ආණ්ඩුවක් තුළදී පර්යේෂණ සිදු කර රෝගයට හේතුව සොයාගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගියදා දෙහිඅත්තකන්ඩිය ගොවිජන සමුළුවේදී කළ ප්‍රකාශයට පොහොට්ටු පක්ෂයේ වියත්මග මන්ත්‍රී චන්න ජයසුමන විසින් කර තිබූ ප්‍රතිචාර දැක්වීමට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පිළිතුරු ලබා දී තිබේ.

එහිදි ඔහු සඳහන් කරන්නේ,

“අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආපු, ඒ වගේම ඒ කාලයේ ගෝටාබය රාජපක්ෂගේ වියත්මගේ ලොකු සාමාජිකයෙක් වෙච්ච, ගෝටාබය රාජපක්ෂගෙන් රාජ්‍ය ඇමතිකමකුත් ගත්ත, දැන්නම් අර විමල්ලාගේ ගම්මන්පිලලාගේ අටමගලේ නියෝජිතයෙක් වන චන්න ජයසුමන යම් ප්‍රතිචාරයක් දක්වලා තිබෙනවා මම දැක්කා. මට කියන්න තියෙන්නේ ඒක ඉතාම මෝඩ සහ අපරිණත ප්‍රකාශයක් කියලා. නිදන්ගත වකුගුඩු රෝගය සම්බන්ධයෙන් දන්න ඕනම කෙනෙක් දන්නවා, ඒ රෝගයට නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නැහැ කියලා. ඒක හඳුන්වන්නෙත් CKDU හැටියට. kidney disease of unknown etiology. රෝග නිධානය සොයා නොගත් නිධන්ගත වකුගඩු රෝගය හැටියට තමයි තවමත් එම වකුගඩු රෝගය හඳුන්වන්නේ. මේ සම්බන්ධයෙන් අපේ රටේ විශේෂඥයින් පර්යේෂකයන් වගේම ඒ අයගේ උදව්වෙන් ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයින් සම්බන්ධ වෙලත් පර්යේෂණ ගණනාවක් සිදු කරලා තිබෙනවා. ඒ අය පර්යේෂණ පත්‍රිකා රාශියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පර්යේෂණ පත්‍රිකා සියල්ලම ගත්තොත් ඒකේ තියෙන හරය තමයි මේ නිධන්ගත වකුගඩු රෝගය වැළඳිලා තියෙන්නේ විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට, කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ජනතාවට සහ වැඩි වශයෙන් පිරිම අයට කියන එක. ඒ වගේම මේ නිධන්ගත වකුගඩු රෝගය සඳහා එක නිශ්චිත හේතු සාධකයක් නෙවෙයි හේතු සාධක ගණනාවක ප්‍රතිඵලයක් හැටියට එහෙම නැත්නම් multilateral එකක් හැටියට තමයි ඒ සියලු දෙනා හඳුන්වලා තියෙන්නේ.

බොහෝ දෙනෙක් හිතනවා මේ රෝගයට හේතුවන හේතු කාරක එක හෝ කිහිපය මේ ජනතාවට එන්නේ ජලය හරහා කියලා. තවත් සමහර අය කියනවා ජලයට අමතරව හේතුසාධක තියෙනවයි කියලා. නමුත් මේ ජලය පිරිසිදු කරලා ලබා දීම ඇතුළේ රෝගයට යම් පිළියමක් ලැබෙනවයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. එහෙම නැතුව රෝගයට එකම ප්‍රතිකර්මය මේ ආරෝ ප්ලාන්ට් බෙදා දීම හරි නැත්නම් ඒ ප්‍රති අංශු ජලය ලබා දීම හරි එහෙම නැත්නම් රෝගයට නිශ්චිත හේතුව අහවල් එක හරි කියලා හඳුනාගෙන නැහැ. එහෙම තිබියදී තමයි මේ චන්න ජයසුමන ඉතාම මෝඩ ප්‍රකාශයක් කරන්නේ ඔහු පර්යේෂණ කරලා දැන් අවුරුදු 15ක් තිස්සේ, ඒකෙන් මේ රෝග නිධානයත් හොයාගත්තාය, මේකට විසඳුමත් හොයාගත්තාය, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඒක ආය හොයන්න තේරුමක් නැතිය කියලා.

චන්න ජයසුමන තවත් ඔය ලිතින් ඇමරිකාවේ කණ්ඩායමක් සමග ඉදිරිපත් කරපු පර්යේශන පත්‍රිකාවේ පවා ඔවුන් සඳහන් කරලා තියෙන්නේ මේකට තනි හේතුවක් නෙවෙයි හේතු සාධක රාශියක් බලපානවයි කියන එක. ඒ වගේම මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයත් වකුගඩු රෝග විශේෂඥයිනුත් අනික් පර්යේෂකයිනුත් සියලුම දෙනා පිළිගන්නේ මම කලින් කිව්ව වගේ මේක හේතු සාධක රාශියක එකතුවක් හැටියට මිසක් තනි හේතුවක් හැටියට නෙවෙයි. ඒ නිසයි අපි කියන්නේ, මේ සම්බන්ධයෙන් පර්යේෂණ විධිමත්ව සිදු කරලා මේ රෝගයේ හේතුකාරකය හෝ හේතුකාරකයන් නිසි පරිදි හඳුනාගෙන මේකට ප්‍රතිකර්ම කළ යුතුයි කියලා. මොකද අපේ රටේ අසරණ රෝගීන් සිය ගණනක් තාම මේකෙන් මියයනවා. තවමත් දහස් ගණනකට මේ වකුගඩු රෝගය වැළඳෙමින් තියෙනවා.

2010 – 2013 කාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ජනගහණයෙන් ලක්ෂයකට 129කට මේ රෝගය වැළඳිලා තිබුණා. 2014 – 2016 කාලයේ ලක්ෂයකට 331කට වැළඳිලා තිබුණා. 2017 – 2020 කාලයේ යම් ප්‍රමාණයක අඩු වීමක් තියෙනවා. නමුත් මුල් කාලයට සාපේක්ෂව ඒත් ඉහළ මට්ටමක තියෙනවා. ලක්ෂයකට රෝගීන් 185ක් රෝහල්වලට වාර්තා වෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ නම් 2010 – 2013 කාලයේ ලක්ෂයකට 149ක් රෝගීන් වාර්තා වුනා. 2014 – 2016 කාලයේ ලක්ෂයකට 326ක් වාර්තා වුනා. 2017 – 2020 කාලයේ ලක්ෂයකට රෝගීන් 296ක් වාර්තා වෙලා තියෙනවා.

2011 ඉඳන් ආරෝ ප්ලාන්ට් බෙදන්න ගත්තත් 2010 – 2013 කාලයට සාපේක්ෂවත් දැනුත් රෝගීන් ඉහළ ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ නිසා මේකට ඇත්තටම අපි අපේ රටේ විශේෂඥයින්, පර්යේෂකයන්, වකුගඩු රෝග විශේෂඥයින් සහ ජාත්‍යන්තර සහායත් WHO එකත් උදව් කරගෙන නිසි පර්යේෂණ කරලා අපි මේකේ හේතුව හොයා ගන්න ඕනෑ. ඒ වගේම ඒක අවශ්‍ය කරන ප්‍රතිකර්මය හොයා ගන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ දේ අනිවාර්යයෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒක තමයි දෙහිඅත්තකන්ඩිය ගොවි සමුළුවේදී අනුර දිසානායක සහෝදරයා ප්‍රසිද්ධියේ කිව්වේ.

හැබැයි මෙතන තියෙනවා අපට පේනවා වසර ගණනාවක් තිස්සේ මේ වකුගඩු රෝගය සහ වකුගඩු රෝගීන් දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලනය කරන කණ්ඩායමක් ඉන්නවා. චන්න ජයසුමන ඒකේ එක්කෙනෙක්. එක වෙලාවක චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමක් මේ වකුගඩු රෝගයට හේතුව ආසනික්ය, ආසනික් කියලා ඔවුන්ට කිව්වේ නාථ දෙවියොය කියලා කිව්වා. ඒක මම හිතනවා මේ රටේ ජනතාවට මතකයි. ඒ වගේම දිගින් දිගටම මෙ පර්යේෂණ සිද්ධ කරන එකට සහ මේ පර්යේෂකයන් එකතුවෙලා විසඳුමක් හොයන එකට මොවුන් බාධා කරමින් හිටියා. ඉතිං එහෙම කෙනෙක් තමයි මේ සිද්ධ කරමින් යන්නේ. ඇත්තටම ඔය චන්න ජයසුමන පාර්ලිමේන්තු එන්නෙත් ඔය වකුගඩු රෝගය පෙන්නලා තමයි. ඒ නිසා මම කියන්නේ ඔහුගේ මෙම මහාචාර්ය කමටත් දොස්තර කමටත් නිගා වෙන ආකාරයේ ප්‍රකාශ කරන්න එපා කියලා. මේක ඇත්තටම විද්‍යාත්මකව රජයක් මැදිගහත්වෙලා මේකට නිසි විඳුමක් හොයාගෙන මෙ ජනතාව බේරගන්න ඕන කම තියෙනවා.

අනිත් එක ඉතිං මට මේ වෙලාවේ කියන්න තියෙන්නේත් චන්න ජයසුමනට ඒ විද්‍යාත්මක භාවය හෝ ඔහුගේ මහාචාර්යකම පුන පුනා කියන එක තේරුමකුත් නැහැ. අර පසුගිය කාලයේ කාන්තාවන්ගේ පැලෝපීය නාල ඇඟිලි දෙනෙක් මිරිකලා 8000ක් විතර වඳ කරයි කියපු කණ්ඩායමේ රතන හාමුදුරුවෝ, විමල්, ගම්මන්පිල වෛද්‍ය විද්‍යාව නොදැන කිව්වයි කියමුකො. හැබැයි චන්න ජයසුමන ඒකට වෛද්‍ය විද්‍යාවෙන් ආවරණයක් ලබා දීපු කෙනා. පැලෝපීය නාලය එහෙම ඇඟිලි දෙනෙක් මිරිකලා කාන්තාවන් වඳ කරන්න පුළුවන් කියලා කියපු කණ්ඩායමේ පෙරමුණේ හිටපු න්‍යායාචාර්ය තමයි චන්න ජයසුමන. ඉතිං ඔය වගේ ගොඩක් ඒවට චන්න ජයසුමන කර ගහලා තියෙනවා.

අපි කියන්නේ කරුණා කරලා මේ රටේ, විශේෂයෙන් රජරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න අපි කැපවෙනවා. විශේෂයෙන් ගොවිජනතාව, අපේ රටට බත සපයන ජනතාව. ඒ ජනතාවගේ දරු පරම්පරාවන් බේරගන්න අපි කැපවෙනවා. ඒවට බාධා කරන ආකාරයෙන් කටයුතු කරන්න එපා. ඔබගේ ඔය අපරිණත, මෝඩ උද්දච්ච ප්‍රකාශ රටේ ජනතාවට වැඩක් නැහැ. මොකද ඔබ ඔබගේ ඉතිහාසයේ එවැනි ප්‍රකාශ ගණනාවක් කරලා ඔබ විද්‍යාවත් හෑල්ලු කරලා තියෙන්නේ. අපි අනිවාර්යවශයෙන්ම ජාතික ජන බලවේගය මේ නිශ්චිතව රෝගය මූලය හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගයට හේතුව හොයන්න පර්යේෂණ මෙහෙයවලා හොයනවා. ඒ විතරක් නෙවෙයි ඒකට අපි අවශ්‍ය කරන ප්‍රතිකර්ම නිශ්චිතව ලබා දෙනවා කියන එකත් කියන්න කැමතියි.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?