Latestක්‍රීඩා

රෝහිත් ෂර්මාගෙන් සුපිරි පිතිහරඹක් – ඉන්දියාව අවසන් පූර්ව වටයට

කලෙකට පසු සුපුරුදු පිතිහරඹයට පැමිණි නායක රෝහිත් ෂර්මාගේ වේගවත් පිතිහරඹය මතින් ඉනිම ගොඩ නැඟූ ඉන්දීය පිල ලකුණු 24කින් ඔස්ට්‍රේලියානුවන් පරදවා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත් විය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 205ක් රැස් කළ අතර, නියමිත ඕවර 20 අවසන් වන විට ඔස්ට්‍රේලියාවට ලබාගත හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් පමණි.

ඉන්දීය ඉනිමේ ජොස් හේස්ල්වුඩ් යැවූ දෙවැනි ඕවරයේදීම විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගිය අතර, ෂර්මාගේ ගිනි කෙළි සංදර්ශනය ආරම්භ වූයේ මිචෙල් ස්ටාක් විසින් යවනු ලැබූ ඊළඟ ඕවරයේ සිට ය. හයේ පහර 4කුත්, හතරේ පහරකුත් සමඟ එම ඕවරයෙන් ලකුණු 29ක් උදුරා ගැනීමට ෂර්මා සමත්වූයේ නැවත සිය සුපුරුදු දස්කම් අතරට එක්වෙමිනි. අනතුරුව ස්ටාක් වෙනුවට පස්වැනි ඕවරය යැවීමට නායක පැට් කමින්ස් පැමිණියත් ඔහුට ද ඒ අයුරින්ම සංග්‍රහ කළ ෂර්මා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 19කිනි. අටවැනි ඕවරය යැවීමට කැඳවූ මාකස් ස්ටොයිනිස්ගේ ඕවරයෙන් ඔහු ලකුණු 16ක් උදුරා ගත් අතර, එම ඕවරයේදීම රිෂාබ් පාන්ට් දැවී ගියේ දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ ලකුණු 87ක සම්බන්ධතාව අවසන් කරමිනි. පාන්ට් රැස් කළේ ලකුණු 15ක් පමණි.

ෂර්මා දැවී ගියේ මිචෙල් ස්ටාක් යැවූ 12 වැනි ඕවරයේදීය. ඒ වනවිට ඉන්දීය පිල ලකුණු 127ක් ලබා සිටි අතර, ඉන් ලකුණු 92ක්ම රැස් කරනු ලැබුවේ ෂර්මා විසිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. සූර්යකුමාර් යාදෙව් පන්දු 16කදී වේගවත් ලකුණු 31ක් රැස් කිරීමට සමත්වූ අතර, ශිවම් ඩුබේ සහ හර්දික් පාන්ඩ්‍යා පිළිවෙළින් ලකුණු 28ක් සහ නොදැවී 27ක් රැස් කරමින් ඉන්දීය පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

ඉන්දීය පිල ලබා දුන් ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රබල ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 6කට දැවී යෑමෙන් පසු ට්‍රේවිස් හෙඩ් සහ නායක මිචෙල් මාෂ් එක්ව ඉනිම පිළිසකර කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 87 දක්වා ඉහළ නැංවූ අතර, මාෂ් ලකුණු 37කට දැවී යෑමෙන් පසු ග්ලෙන් මැක්ස්වෙල් සමඟ එක්වූ ට්‍රේවිස් හෙඩ් ඉනිම ඉහළ නැංවීය. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 128දී මැක්ස්වෙල් ලකුණු 20කට දැවීයෑමත් සමඟ ඔස්ට්‍රේලියානු ඉනිම කඩා වැටිණි. අර්ෂ්දීප් සිංගේ පන්දු හමුවේ ඔස්ට්‍රේලියානු පිලේ මැදපෙළ පිතිකරුවන් අසරණ වූ අතර, ලකුණු 25ක් ඇතුළත කඩුලු 4ක්ම බිඳ වැටිණි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රේවිස් හෙඩ් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 150ක්ව තිබියදීය. ඔහු ලකුණු 76ක් රැස් කළේ පන්දු 43කිනි. ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ජයග්‍රහණය සඳහා හර්දික් පාණ්ඩ්‍යා යැවූ ඉනිමේ අවසන් ඕවරයට ලකුණු 29ක් ලබාගත යුතුව තිබිණි. එහෙත් එම ඕවරයේදී හර්දික් ලබා දුන්නේ ලකුණු 4ක් පමණි. පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං කඩුලු 3ක් දවාලූ අතර, කුල්දීප් යාදෙව් කඩුලු 2ක් බිඳ දැමුවේය.

ඉන්දීය පිල – 205/5 (ඕවර 20) රෝහිත් ෂර්මා 92, සූර්යකුමාර් යාදෙව් 31, ශිවම් ඩුබේ 28, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 27 (මිචෙල් ස්ටාක් 45/2, මාකස් ස්ටොයිනිස් 56/2)

ඔස්ට්‍රේලියා පිල – 181/7 (ඕවර 20) ට්‍රේවිස් හෙඩ් 76, මිචෙල් මාෂ් 37, ග්ලෙන් මැක්ස්වෙල් 20 (අර්ෂ්දීප් සිං 37/3, කුල්දීප් යාදෙව් 24/2)

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *