Latestදේශීය

ජොන්ස්ටන්ගේ විරෝධය ඉවතට – නඩුව ඉදිරියට

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආහාර, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජකාරී කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු සඳහා සතොස සේවකයන් 39 දෙනෙකු යොදාගැනීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් චෝදනා කර පවරා තිබූ නඩුවක් විභාගයට ගැනීමට එරෙහිව ඔහු විසින් මතු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නඩුව ඉදිරියට විභාග කිරීමට නියෝග කර තිබේ.

මූලික විරෝධතාවක් මතු කර තිබී ඇත්තේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපති ගොනු කළ අධි චෝදනා පත්‍රයේ අයථා ගෙවීම් කළ තැනැත්තන් 39 දෙනෙකු ගැන සඳහන් වුවද ඔවුන්ගේ නම් හෝ කළ ගෙවීම් පිළිබඳ චෝදනා පත්‍රයේ හෝ නඩු භාණ්ඩ ලේඛනයේ සඳහන්ව නොතිබීම සම්බන්ධයෙනි.

අදාළ තොරතුරු නඩුව සමඟ ඉදිරිපත් කළ දෘඪ තැටියක් මඟින් විත්තියට දී ඇතැයි පැමිණිල්ල ප්‍රකාශ කර ඇත. ඒ අනුව එහි ලිඛිත පිටපතක් වහාම පැමිණිල්ලට දීමට නියෝග කළ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ නඩුව පවත්වා ගෙන යාමට නියෝග කර තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ ඇමති වශයෙන් කටයුතු කළ 2010-2015 දක්වා කාලය තුළ දී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර එම ආයතනය මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ දූෂණය යන වරදට මෙම නඩු පැවරීම සිදු කර තිබේ.

එවකට සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂ වන මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා 04ක් නීතිපති විසින් ගොනුකර තිබෙන අතර මින් පෙර නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කර තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *