Latestදේශීය

එදා මංකොල්ලකරුවන් කැලෑවල අද සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල

ඉස්සර හොරු සහ මංකොල්ලකරුවන් කැලෑවල සිටියත් අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27) පස්වරුවේ පැවැත්වූ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර,

“අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව මේ ආකාරයෙන් ස්වාධීන විනිසුරුවරුන්ට බලපෑම් කරන්නේ ඇයිද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනෑ. ඔවුන් බලපෑම් කරන්නේ දේශපාලන මාර්ග සිතියමකට අනුවයි. විධායකයේ සිටින අය වගේම ව්‍යවස්ථාදායකයේ සිටින අයත් තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අධිකරණයෙන් ඉටු නොවූ අවස්ථාවල මේ ලෙස ප්‍රහාර එල්ල කරනවා. අපේ රටේ පොදු ජනතාව තුළත් අධිකරණ ක්‍රියාමාර්ගවලදී නඩු කල්යාම, නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවීමට සිදුවීම වගේ තත්වයන් සම්බන්ධයෙන් පවතින්නේ ඍණාත්මක ආකල්පයක්. අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් වගේ අත්‍යාවශ්‍ය දෙයක්. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන සංවරණය හා තුලනය කියන මූලික සංකල්පය මත ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය නොතිබුණොත් බ්රේක් නැති වාහනයක් පල්ලමකදි හැප්පිලා විනාශ වෙනවා වගේ රටත් විනාශ වෙනවා. නමුත් අපේ රටේ පාලනයට සම්බන්ධ දේශපාලනඥයන් ව්‍යවස්ථාවේ සහ අනෙකුත් නීතිවල සිදුරුවලින් රිංගා යන්න බොහෝ විට උත්සාහ කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත් නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදෙන ආදර්ශ අනුව අධිකරණ ඇමති, විජේදාස රාජපක්ෂ අධිකරණයට ජනතාවගේ තිබෙන පිළිගැනීම සහ විශ්වාසය කඩා බිඳ දැමීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා. අධිකරණය ආරක්ෂා කිරීමේ මූලිකම වගකීම තිබෙන එම ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මහජනතාව ඉදිරියේ අධිකරණයේ විශ්වාසය බිඳෙන ආකාරයෙන් ක්‍රියා කරනවා. ඉස්සර නම් හොරු සහ මංකොල්ලකරුවන් වැඩිය සිටියේ කැළෑවල. අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල. ජනාධිපති නීතිඥවරයෙක් වුවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සිදුකරමින් සිටින මේ ක්‍රියාව ඉතාම නින්දිතයි.

අපක්ෂපාත විනිසුරුවරුන් බිය ගන්වා බලපෑම් කර ආණ්ඩුවට අවාසි නොවන ආකාරයේ තීන්දු ගැනීමේ උත්සාහයක යෙදී සිටිනවා. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, රාජපක්ෂවරුන් අකමැති තීන්දුවක් දීම නිසා පාර්ලිමේන්තුවට ගෙනත් ඉතාමත්ම අපහාසාත්මක ලෙස කටයුතු කළා. සූරසේන විනිසුරන් ප්‍රමුඛ විද්වතුන් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දුවක් දුන් අවස්ථාවේ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කළේ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්විය යුතු බවයි. වෘත්තියේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ලිපියක් නිකුත් කර, විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් එම සංගමයේ නිලධාරීන් පවා පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවට ගෙනයන මතය පරාජය කරන්න ඕනෑ.

අධිකරණ විනිසුරුවරුන් කියන්නේ ජනතාවගේ අවසන් බලාපොරොත්තුවයි. එවැනි පිරිසක් බය ගැන්වීමට අධිකරණ ඇමති උත්සාහ කිරීම මගින් පෙන්වන්නේ මංකොල්ලකරුවෙකු සහ ඔහු අතර වෙනසක් නැති බවයි. ඇමතිවරයාට ඔය කළ ප්‍රකාශය කොන්ද කෙලින් තබාගෙන පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ලෙස අපි අභියෝග කරනවා. වරප්‍රසාද තුළ හැංගී, ඔය වැනි ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති නිසයි. නීතිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති අනුගමනය කරන ක්‍රියාමාර්ගයත් බරපතළ සැකයක් ඇති කරනවා. වර්තමාන නීතිපතිවරයා විශ්‍රාම ගිය පසු එම තනතුරට පත්කරන්න දක්ෂ නිලධාරීන් ඇති තරම් ඉන්නවා. නීතිපතිවරයා ඉවත් වූ පසුව ඊළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා බවට පත්වෙනවා. සංජය රාජරත්නම් මහතාගේ ආත්ම ගෞරවයටත් හානියක් වන ආකාරයෙන් ජනාධිපතිවරයා ක්‍රියා කිරීමත් අපේ සැලකිල්ලට ලක්වෙනවා. පවතින මෙම සමස්ත ක්‍රියාවලියේ පිරිහීමට එරෙහිව හෙට දිනයේදී අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා. අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ජාතික ජන බලවේගයේ නීතිඥයන් ප්‍රමුඛ සමස්ත නීති ප්‍රජාවට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ඉල්ලනවා. මේ විරෝධතාව ජාතික ජන බලවේගයේ නීතිඥයන් විසින් සංවිධානය කරන විරෝධතාවක් නෙමෙයි. පොදු නීතිඥයන් විසින් නීතියේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දක්වන විරෝධතාවක්.

අවසන් වශයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට අපි කියන්නේ ඔබ පක්ෂ මාරු කරමින් පෞද්ගලික උන්නතිය වෙනුවෙන් දේශපාලනය කළාට අපට කමක් නැහැ. තම ආර්ථිකය වෙනුවෙන් කටයුතු ඒ ආකාරයෙන් සිදුකර ගත්තාට කමක් නැහැ. නමුත් පොදුවේ නීතිඥවරු වශයෙන් අපි අභිමානයෙන් සහ ගෞරවයෙන් ඉටුකරන වෘත්තීන්ට අපහාස කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මෙයට පෙර අධිකරණයට ගල් ගැසූ දේශපාලනඥයන්ට සිදුවූ දේ හොඳින් සිහියට ගන්නා ලෙස අවධාරණය කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ විනිසුරුවරුන්ගේ සංගමයට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ අනෙකුත් සංවිධානවලට ස්තුතිවන්ත වෙනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?