Latestදේශීය

රනිල්ට වඩා නන්දලාල් දරුණුයි

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ ප්‍රබන්ධ ඉදිරිපත් කරමින් ආර්ථිකයේ පවතින යථා තත්වය සඟවන අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ජනතාවට තොරතුරු ලබා ගැනීමේ මාර්ග විශාල වශයෙන් අහුරා දමමින් කටයුතු කරන බව අනාවරණය වේ.

මේ සඳහා වැදගත් ම නිදර්ශනය වී තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ය. ඒ මගින් ඉදිරිපත් කර තිබෙන දත්ත පිළිබඳව යම් යම් විවේචන පැවතිය ද ගෙවී ගිය වර්ෂයකට අදාළව සවිස්තර දත්ත සහ විග්‍රහයන් එක් තැන් කළ ලේඛනයක් ලෙස මහබැංකු වාර්ෂික වාර්තාව මේ දක්වා නිල වශයෙන් පැවතිනි. 2022 වර්ෂයේ එම වාර්තාවේ මුල් කොටස පිටු 543ක් වූ අතර 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ මුල් කොටස පිටු 181කට සීමා කර තිබේ.

එලෙස සීමා කිරීම තුළින් පුරවැසි ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය උල්ලංඝණය කර තිබෙන ආකාරය පැහැදිලි කළ හැකි එක් නිදර්ශනයක් මෙසේ ය.

“මධ්‍යම රජයේ ණය සේවාකරණ ගෙවීම්“ යන අනු සිරස්තලය යටතේ 2022 වර්ෂයේදී රූප සටහන් එකක් සහ දත්ත වගු තුනක් ඇතුලත්ව සම්පූර්ණ පිටු තුන හමාරකට ආසන්න ඉඩක තොරතුරු හෙළිකර තිබිණි. නමුත් 2023 වර්ෂයේදී ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ එම මාතෘකාව යටතේ එක් රූප සටහනක් පමණක් ඉදිරිපත් කරමින් කරුණු විග්‍රහ කිරීම සඳහා පිටු කාලක පමණ ඉඩක් වෙන් කර තිබේ. එම උපක්‍රමය මගින් සඟවන ලද අතිශය සංවේදී තොරතුරක් වන්නේ ණය පොලී සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය ය. 2022 වර්ෂයේ වාර්තාවෙන් 2019 සිට වසර 4ක් ණය වාරික සහ පොලී ගෙවීමට වෙන වෙනම යොදවන ලද මුදල ද දේශීය සහ විදේශීය ණය වාරික සඳහා පොලී ගෙවීම වෙනුවෙන් වැය කරන ලද මුදල ද ඇතුලත් පැහැදිලි දත්ත වගුවක් ඉදිරිපත් කර තිබිණි. නමුත් 2023 වාර්තාවේ පෙර කී අනු මාතෘකාව යටතේ එම වර්ෂය වෙනුවෙන් ණය පොලිය ගෙවීමට වැය කළ මුදල කොපමණක් ද යන්න හෝ නිරවුල්ව දක්වා නොමැත.

මේ ආකාරයෙන් දේශපාලඥයන් ලෙසින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මහජනතාවගෙන් සංවේදී ආර්ථික තොරතුරු සැඟවීමට හෝ වැරදි අර්ථකථන දීමට උත්සාහ කරනවාට වඩා දරුණු තත්වයක් මහ බැංකු අධිපති ප්‍රමුඛ වගකිව යුතු නිලධාරීන් සිදු කරමින් සිටින බව පැහැදිලි වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?