Latestදේශීය

හිරුණිකා

(චන්දන ජයවීර)

සමඟි වනිතා බලවේගයේ නායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑම ඇතුළු චෝදනා 18කට වැරදිකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයට බරපතළ වැඩ සහිතව වසර 33ක සිර දඬුවමක් නියම කර, එය වසර 3කින් ගෙවෙන ලෙස ඊයේ (28) දඬුවම් නියෝග කළේය. මීට අමතරව රු. 3,60,000ක දඩ මුදලක් නියම කර, එය නොගෙවන්නේ නම් චෝදනාවකට මාස 6 බැගින් ලිහිල් සිරදඬුවමක්ද නියම ඇයට නියම කෙරිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව අධිචෝදනා 19ක් ඉදිරිපත් වූ අතර, එයින් එක් චෝදනාවක් හැර සෙසු සියලු චෝදනාවලට ඇය වැරදිකරු බව තීරණය විය.

නඩු තීන්දුව අසා දැනගැනීමට හිරුණිකාගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සැමියා හිරාන් යටෝවිට මහතාද අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. නඩු තීන්දු‍ව ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ඉකිගසමින් ශාලාවෙන් පිටතට ගිය අතර‍, දීර්ඝ වේලාවක් බිම බලාගෙන සිටි හිරුණිකා මහත්මියගේ ඇස්වලින් කඳුළු ගලා හැලෙනු දක්නට ලැබිණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් මෙතෙක් නඩුවට පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම විශේෂත්වයක් විය. ඔහු අසනීපව ඇති බවට නීතිඥවරුන් අතර කතාබහක් ඇති විය. විත්තිකාරිය වැරදිකරු කිරීමෙන් පසු ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය අමතමින් මන්ද්‍රිකාරක කරුණු ඉදිරිපත් කිරීම සඳහා පමණක් තමා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටියේය.

පිටු 31ක දීර්ඝ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරියට එරෙහිව ප්‍රබල සාක්ෂි පැමිණිල්ල එකාකාරි ලෙස ඉදිරිපත් කර ඇති බව සිය නඩු තීන්දුව මඟින් කියා සිටියේය. අධිකරණය පුද්ගලයන්ගේ තරාතිරම නොව, ඉදිරිපත් වූ සාක්ෂි අනුව පමණක් තීන්දු දීම කරන බව මහාධිකරණ විනිසුරුවරයා සිය නඩු තීන්දුවේදී ප්‍රකාශ කර සිටියේය.

විත්තිකාරිය අවුරුදු 7, 5 සහ 3ක දරුවන් තිදෙනකුගේ මවක බවත්, ඇයට පෙර වැරැදි නැති බවත් පවසමින්, ඇය ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක බැවින් යළි සමාජගත විය හැකි ආකාර‍යට බන්ධනාගාරගත කිරීමකින් තොරව ලිහිල් දඩයක් පමුණුවන ලෙස ඉල්ලා සිටින ලදි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් දඬුවමක අරමුණ වරදෙහි ස්වභාවය ගැන හා අනීතිකව කටයුතු කළ හොත් ඇති විය හැකි අනිටු විපාක ගැන සමාජයට පණිවිඩයක් දීම බව ප්‍රකාශ කළ අතර, තරාතිරම නොබලා සියලු දෙනාට සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වන ප්‍රකාශ වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට දෙන ලෙස ඉල්ලා සිටියේය.

මහාධිකරණ විනිසුරුවරයා ඉදිරිපත් වූ කරුණු සලකා බලා දඬුවම් නියම කළ අතර විත්තිය ඒ ගැන අතෘප්තියට පත් වන්නේ නම් අභියාචනා කිරීමේ හැකියාව ඇති බව සිහිපත් කළේය. විත්තිකාරියට මෙලෙස දඬුවම් නියම වූයේ මෙයට වසර 9කට පෙර සිදු වූ අපරාධ චෝදනාවක් සම්බන්ධයෙනි. 2015 වසරේ දෙසැම්බර් 21 දා හෝ ආසන්න දිනක දෙමටගොඩ ප්‍රදේශයේදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා අයුතු ලෙස සිර කිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, සාපරාධි බලහත්කාරය පෑම, අඩත්තේට්ටම් කිරීම, සාපරාධි ලෙස බිය ගැන්වීම, අයුතු ලෙස සිර කර සිටීම ඇතුළු චෝදනා 19ක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් විය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් නඩුව කැඳවූ මුල් අවස්ථාවේදීම 2017 වසරේ නොවැම්බර් 6 දා වරද පිළිගත් අතර, ඔවුන්ට වසර 12ක අත්හිටුවූ සිරදඬුවමක් සහ රු. 1,65,000ක දඩ මුදලක් නියම කෙරිණි. එයට අමතරව පැහැරගැනීමට ලක් වූ තරුණයාට රු. 2,85,000ක වන්දියක් ගෙවීමට නියම විය. ඉන් පසු 9 වැනි විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට විරුද්ධව පමණක් නඩු විභාගය ක්‍රියාත්මක විය. දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 වගන්ති සමඟ කියවිය යුතු 331, 338, 353, 356 වගන්තිය යටතේ සහ 140 වැනි වගන්තිය යටතේ වගඋත්තරකාරියට එරෙහිව චෝදනා ඉදිරිපත්ව තිබිණි.

නඩු විභාගයේදී පැමිණිල්ල ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව ඇතුළු පිළිගැනීම් රැසකට විත්තිය එකඟ නොවීම නිසා නඩු විභාගය දීර්ඝ ලෙස කල් ගියේය. විත්තිය එකඟ වූයේ පැමිණිල්ල ඉදිරිපත් කළ යෝජනා අතරින් පැහැරගැනීම කළ ඩිෆෙන්ඩර් රථයේ අංකය ගැන හා විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකය යන කාරණය ගැන පමණි. එනිසා අනෙක් කරුණු තහවුරු කිරීමට පැමිණිල්ලට සිදු විය. තමන් පැමිණිල්ල ඉදිරිපත් කළ යෝජනාවලට එකඟ නොවූයේ මේ නඩුව ගොතන ලද හේතු මත කළ පැමිණිල්ලක් බවට විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා විත්තියේ දේශනයේදී සඳහන් කළේය.

පැමිණිල්ලේ නඩුවට සාක්ෂිකරුවන් රැසක් නම් කර තිබුණද නඩු විභාගයට 1, 8, 18, 24, 25, 26, 28, 39 යන සාක්ෂිකරුවන් පමණක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලදි. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස පැහැරගැනීමට ලක් වූ අමිල ප්‍රියංග යන අය 2023 වසරේ මැයි 9 දා සාක්ෂි දෙන ලදි. මේ වන විට කැලණිමුල්ල ප්‍රදේශයේ තේ කොළ කර්මාන්ත ශාලාවක ගබඩා සහායකයකු ලෙස සේවය කරන සාක්ෂිකරු සිද්ධිය වූ අවස්ථාවේ දෙමටගොඩ ලකී ස්ටෝර්ස්හි වෙළෙඳ සේවකයකු ලෙස සේවය කළ බව පවසන ලදි. සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය:

“මේ සිදුවීම වන විට මම පදිංචිව සිටියේ ගොතටුවේ. මම චමිලා ගීතානි සමඟ සම්බන්ධයක් තිබුණා. මම දෙමටගොඩ ලකී ස්ටෝර්ස්හි වැඩ කරන කොට 2015 වසරේ දෙසැම්බර් 21දා ඩිෆෙන්ඩරයක ආ කිහිප දෙනෙක් බලහත්කාරයෙන් පැහැර‍ගෙන ගියා. ඔවුන් උදේ 10.20ට පමණ ආයතනය ඇතුළට ඇවිත් මගේ නම කියලා කතා කළා. ඉන් පස්සේ මගේ කොලර් එකෙන් අල්ලාගෙන එළියට ඇද‍ගෙන ගියා. ඊට පස්සේ ඉස්සරහ සිකියුරිටි කුටිය ළඟට අරන් ගිහින් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. පස්සේ මාව ඩිෆෙන්ඩර්එකට බලෙන් දාගෙන කොළොන්නාව පැත්තට අරන් ගියා.

කොළොන්නාවේ කාර්යාලයේ හිරුණිකා මිස් හිටියා. මාව දැක්ක ගමන් මූද මිනිහා කියලා එයා ඇහුවා. කාර්යාලයේ චමිලාගේ සැමියා වන ඇන්ටන් ද සිටියා. ‘මේ පුද්ගලයා මගේ දේශපාලන වැඩවලට හුඟක් උදවු කරලා තියෙනවා. ඒ නිසා එයාගේ කීම අහක දාන්න බැහැ,’ කියලා හිරුණිකා මිස් මට කිවුවා. මගේ ෂර්ට්එක ඉරිලා තිබුණ නිසා ඒ ගොල්ලෝ මාව විහිළුවට ගත්තා. ඒ ගොල්ලෝ හොඳටම හිනා වුණා. ඒ වෙලාවේ හිරුණිකා මිස් මේසයක් උඩ වාඩි වෙලා කකුල් දෙක පද්දමින් හිටියා. එයා මගෙන් ‘මේ ගෑනු කෙනා ඉන්නේ කොහෙද?’ කියලා ඇහුවා. ‘කොටිකාවත්තේ ඉන්නේ’ කියලා මම කිවුවා. හිරුණිකා මිස් මගේ අයිඩින්ටිය අරන් ‘චමිලාව ගෙනැවිත් භාර දෙන්න’ කිවුවා. ‘හැබැයි චමිලා අරන් එන්නෙ නැතිව කොහේ හරි ගිහින් හැංගුණොත්, යාපනේ හිටියත් මට කමක් නැහැ, මට බලය තියෙනවා මම ඉන්න තැනකින් උස්සන් එනවා’ කියලා කිවුවා.”

ඉන් පසු අමිල ප්‍රියංග නමැත්තා ඔවුන් නැවතී සිටි බෝඩිමකට ත්‍රිවිලරයකින් ගොස් චමිලා ගීතානි නම් තම අනියම් පෙම්වතිය හිරුණිකාගේ කාර්යාලයට රැගෙන ගොස් ඇත. එහිදී හිරුණිකා ඔවුන්ට සාමකාමි පවුල් ජීවිතයක් පවත්වාගෙන යා යුතු ආකාරය ගැන උපදෙස් දී ආපසු නිවෙසට යන ලෙස බල කර ඇත.

මේ වන විට පැහැරගනු ලැබූ තරුණයා සේවය කළ ලකී ස්ටෝර්ස් ආයතනයේ හිමිකරු දෙමටගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණු නිසා එය ඉවත් කරගන්නා ලෙසද විත්තිකරුවන් පැහැරගැනීමට ලක් වූ අමිල ප්‍රියංග නමැත්තාට තර්ජනය කළ බව ඔහු උසාවිය ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේය. එසේ තර්ජනය කිරීමෙන් පසු ඔහුගේ හැඳුනුම්පත ආපසු දී කාර්යාලයෙන් තල්ලු කර තිබේ. ඉන් පසු එම තරුණයා තමා සේවය කරන ආයතනයට ගොස් එහි හිමිකරු සමඟ පොලිසියට ගොස් කටඋත්තරයක් දී ඇත.

පොලිසිය තරුණයා අධිකරණ ‍වෛද්‍යවරයා හමුවට පමුණුවා රෝග ඉතිහාසය පිළිබඳ වාර්තාවක් ගත්තේය. නඩුවේදී පැමිණිල්ලේ 8 වැනි සාක්ෂිකාරිය ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී.අයි. ලලිතා රත්නායක මහත්මිය සාක්ෂි දුන්නාය.

“මම 22 දා උදේ 10ට පමණ තුවලකරු පරීක්ෂා කළා. ඔහුගේ ශරීරයේ තැන් 5ක පමණ නැවුම් තුවාල තිබුණා. උඩු තොල ළඟ සෙ.මී. 5ක පමණ තුවාලයක් තිබුණා. ඒ වගේම පපුව ඉදිරිපස, උඩු බාහුවේ සහ දකුණු පස යටි බාහුවේ තුවාල තිබුණා. තුවාලකරු තමන්ගේ ඔළුව රිදෙන බව හා මේ තුවාල ඇති වූයේ හිරුණිකාගේ ආධාරකරුවන් පහර දීමෙන් බව කිවුවා. මම තුවාලකරුගෙන් සිදු වීමට හේතුව ඇහුවා. එවිට ඔහු විවාහක තැනැත්තකු බවත් බිරිය විදේශයක රැකියාව කරන බවත්, චමිලා නම් තැනැත්තිය සමඟ සබඳතාවක් ඇති බවත්, ඒ හේතුවට හිරුණිකාගේ රැකවලුන් පහර දුන් බවත් කිවුවා.”

ඇයගේ සාක්ෂි විත්තියේ හරස් ප්‍රශ්න විමසීමටද ලක් විය.

මෙයට අමතරව පැමිණිල්ල වෙනුවෙන් පැහැරගෙන යෑම ගැන මූලික පරීක්ෂණ කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රතිලක, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, විත්තිකාරිය අත්අඩංගුවට ගැනීම කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් ප්‍රේමතිලක යන නිලධාරීන් හා පැහැරගැනීමට ලක් වූ අමිල ප්‍රියංග අමරසිංහ, ඔහු සේවය කළ ලකී ස්ටෝස්හි වර්තමාන හිමිකරුද සාක්ෂි දුන්හ.

නඩුවේ 9 වැනි විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළාය. සාක්ෂි ආඥා පනතේ 165 වැනි වගන්තිය අනුව විත්තිකරුවකු විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරන අවස්ථාවක පැමිණිල්ලට හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් නොලැබෙන බැවින් ඇයගේ සාක්ෂිය ප්‍රශ්න කිරීමකට ලක් නොවීය. ඇගේ සාක්ෂියේ මෙසේ සඳහන් වේ:

“මම කොළොන්නාවේ කාර්යාලයට එන විට ඇන්තනි හිටියා. මම ඇන්තනිගෙන් ‘කොහොමද?’ කියලා ඇහුවම ඔහු ‘මැඩම්, මේ මිනිහා මගේ වයිෆ් අරන් ගිහින්. මෙයාට කියන්න මගේ වයිෆ්ව ගෙනත් දෙන්න කියලා’ කිවුවා. ඊට පස්සේ මම ඇහුවා ‘කෝ වයි‍ෆ්?’ කියලා. ‘මේ මනුස්සයගේ ගෙදර තියන් ඉන්නවා’ කියලා ඇන්තනි කිවුවා. ‘මට උත්සවයකට යන්න පරක්කු වෙලා තියෙන්නේ. ආයේ එනවා. වයිෆ්ව අරන් එන්න කියලා’ හිරුණිකා කිවුවා කියලා කියනවා කිවුවා.”

ඊට පසුව හිරුණිකා මහත්මිය නැවත කාර්යාලයට ගොස් ඇත. “මම ඔෆිස්එකට ගියෙම මගේ වාහනයේ කවුද ගියේ කියාගෙන. ඇන්තනි, එයාගේ බිරිඳ හා දරුවා සහ තවත් අය එතැන හිටියා. කට්ටියම නැඟිට්ටා. ‘මේ ඉන්නේ මගේ වයිෆ්’ කියලා ඇන්ටනි කිවුවා. ‘මම කැමැත්තෙන් ගියේ’ කියලා වයිෆ් කිවුවා. ඉන් පස්සේ මම දෙන්නටම අවවාද කළා.”

පැමිණිල්ලේ දේශනයේදී හිරුණිකාගේ සාක්ෂියේ අවංකභාවය ගැන පැමිණිල්ලේ නීතිඥයා ප්‍රශ්න කළේය. මේ සිදුවීම විත්තිකාරිය පවසන ආකාරයේ අහිංසක වැඩක් නොවන බව පෙන්වා දුන් පැමිණිල්ලේ නීතිඥයා ඇය ඒ වන විට බලයේ සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරියක බැවින් නීතිය අතට ගෙන කටයුතු කළ ආකාරයක් මේ සිදු වීමෙන් පෙනෙන බව ප්‍රකාශ කර සිටියේය. තමා අතින් සිදු වූ වරද ගැන විත්තිකාරියට පශ්චාත්තාප වීමක් නැති බව පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරයා උපරිම දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටියේය.

“දේශපාලනඥයන්ට නීතිය සිල්ලර දෙයක්. අධිකරණයට, පොලිසියට වෙන් වෙන් කාර්යභාරයන් පැවරී තිබෙනවා. දේශපාලනඥයන් නඩුකාරයෙක් විදියට වැඩ කරන්න ගියෝත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?” යැයි රජයේ නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පමිණිල්ලේ දේශනය ආරම්භ කරමින් විමසා සිටියේය.

“කිසියම් තැනැත්තකු පැහැරගෙන යෑමේ සහ රහසිගත තැනක සඟවාගෙන සිටීමේ වරදට දණ්ඩ නීති සංග්‍රහයේ 356 සහ 353 වගන්තිය යටතේ ගොනු කළ නඩුවක වැරදිකරුවකුට අවුරුදු 7ක් බන්ධනාගාරගත කිරීමක් කළ හැකියි. 331 වගන්තිය යටතේ අයුතු රඳවාගැනීමට අවුරුදු 2ක බන්ධනාගාරගත කිරීමක් කළ හැකියි. සාපරාධි බලහත්කාරය නිසා මරණය හෝ තුවාල කිරීමක් සිදුව තිබේ නම් එම බන්ධනාගාරගත කිරීම අවුරුදු 7 දක්වා වැඩි වෙනවා. පැමිණිල්ල සනාථ කිරීමට සූදානම් වන්නේ මේ චෝදනා සම්බන්ධයෙන් පමණයි. නඩුවේ සෙසු විත්තිකරුවන් මේ වන විටත් චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් අප ඔවුන් සම්බන්ධයෙන් කරුණු දක්වන්නේ නැහැ,” යැයි කියා සිටියේය.

නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද පැවසීය:

“අමිලගේ සාක්ෂියෙන් 2015 දෙසැම්බර් 21 දා ලකී ස්ටෝර්ස් ආයතනයේදී බලහත්කාරයෙන් ඩිෆෙන්ඩර්යක දාගෙන පැහැරගෙන ගිය බව කියවුණා. ඉන් පසු ඔහු කොළොන්නාවේ පිහිටි හිරුණිකාගේ කාර්යාලයට ගෙන ගිහින් තිබුණා. හිරුණිකා ඒ වන විට බලයේ සිටි ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඒ බව විත්තිය පිළිගෙන තිබෙනවා. අමිල හිරුණිකාගේ කාර්යාලයට රැගෙන ගිය බව, ඒ අවස්ථාවේ විත්තිකාරිය සිටිය බව, ඔහුට පහර දුන් බව හා එයින් ඔහු කමිසය ඉරුණු බව ප්‍රකාශ වුණා. මේක සරල කාරණයක් විදියට සලකන්න බැහැ.”

අනතුරුව නීතිඥ අශාන් ප්‍රනාන්දු විත්තියේ දේශනය පවත්වමින් මෙසේ කියා සිටියේය:

“මුල් අවස්ථාවේදීම 1 සිට 8 දක්වා විත්තිකරුවන් වරද පිළිගැනීමක් කළා. 9 වැනි විත්තිකාරිය වරද පිළිගැනීම නොකළේ ඇය මෙයට සම්බන්ධ නොවන නිසයි. 1 සිට 8 දක්වා විත්තිකරුවන් මේ සිද්ධියට සම්බන්ධ බව දැනගත් පසු ඇය ඔවුන්ට විරුද්ධත්වය ප්‍රකාශ කළා. පොලිසියට භාර දීම කළා. මේ සිද්ධියේ වැදගත් සාක්ෂිකාරියක වන ඇන්ටනිගේ බිරිය වන චමිලා නමැත්තියගේ සාක්ෂි කැඳවීම කර නැහැ. විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන් චන්ද්‍රතිලක නමැත්තා ඔහුගේ සාක්ෂි සටහන් කිසිවක් ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම පැය 24කට පෙර ප්‍රකාශ ගැනීම කළ යුතුයි. මේ ප්‍රකාශ පැය 48කට පසු ගත් ඒවා. ඒවා සියල්ල පසුව ඇලවූ සටහන්. කොළොන්නාව කාර්යාලයේ සීසීටීවී දර්ශන ගැනීමට පොලිසිය කටයුතු කර නැහැ. එතැන වූ සිද්ධිය දුටු තැනැත්තකු වන අරවින්ද යන අය සාක්ෂියට කැඳවා නැහැ. මේ නඩුව විමර්ශන අවස්ථාවේදීම බිඳවැටුණු නඩුවක්. අපරාධ නඩුවක සාක්ෂි ඉදිරිපත් කිරීම පැමිණිල්ල විසින් කළ යුතුයි. සැකයේ වාසිය විත්තියට ලැබිය යුතුයි,” යැයි කියා සිටියේය.

පැමිණිල්ල විත්තියට එරෙහි චෝදනා ප්‍රබල ලෙස සනාථ කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තිකාරිය ඇයට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා 23කට වැරදිකරු කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සමඟ නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ එරන්දි අබේනායක මහත්මිය විත්තිය වෙනුවෙන්ද පෙනී සිටියහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?