Latestදේශීය

හෙට (02) පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වේ

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා  සහ 03 වැනි බදාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටී. පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෙට සහ අනිද්දා දෙදින පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

මේ අනුව ජූලි 2 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ප.ව 5.00 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ. එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  එදින පෙරවරුවේ ගරු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව බව නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ජූලි 3 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව ප.ව 5.00 මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024.06.26 දින එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අවසරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත ලබාදීමට මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?