Latestක්‍රීඩාදේශීය

කලම්බු ස්ට්‍රයිකර්ස් ජය ලබයි

කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාලගේගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් එල්පීඑල් තරගාවලියේ තෙවැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පිල පරදවා ලකුණු 51ක ජයක් හිමි කර ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (2) රාත්‍රියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කලම්බු පිල දුන් ලකුණු 199ක ඉලක්කය හඹාගිය කැන්ඩි ෆැල්කන්ස් පිලට ඕවර 15.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 147ක් පමණි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් රැස් කරමින් කැන්ඩි පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, නායක වනිඳු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 බැගින් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ශදාබ් ඛාන් සහ දුනිත් වෙල්ලාගේ කඩුලු 4 බැගින් බිඳ දැමූහ. එහිදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වූ ශදාබ් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ඉනිමේ 15 වැනි ඕවරය යැවූ ඔහු සිව්වැනි පන්දුවෙන් කැන්ඩි නායක වනිඳු හසරංග දවාගත් අතර, ඉතිරි පන්දු දෙකෙන් පිළිවෙළින් අගා සල්මාන් සහ පවන් රත්නායක දවා ගනිමින් විස්සයි20 පිටියේ සිය පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් කලම්බු ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 20ක් වෙද්දී බිඳ වැටුණු අතර, මුහම්මද් වසීම් සමඟ තෙවැනි කඩුල්ලට එක්වූ සධීර සමරවික්‍රම වේගවත් සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 37කදී ලකුණු 78ක් රැස් කරමිනි. පන්දු 18කින් ලකුණු 32ක් රැස් කළ වසීම් දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, සධීර ලකුණු 48ක් රැස් කළේ පන්දු 26කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඉනිම අගභාගයේ නායක තිසර පෙරේරා පන්දු 30කින් ලකුණු 38ක් සහ චාමික කරුණාරත්න පන්දු 10කදී නොදැවී වේගවත් ලකුණු 25ක් ඉනිමට එක් කිරීමට සමත් වූහ. තිසර – චාමික එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 19කින් ලකුණු 41ක් රැස් කරමින් ඉනිම ලකුණු 200 ආසන්නයට රැගෙන ගියහ. පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවා ගත්හ.

කලම්බු ස්ට්‍රයිකර්ස් – 198/7 (ඕවර 20) සධීර සමරවික්‍රම 48, තිසර පෙරේරා 38, මුහම්මද් වසීම් 32, චාමික කරුණාරත්න නොදැවී 25, ශදාබ් ඛාන් 20, රහ්මනුල්ලාහ් ගුර්බාස් 17 (වනිඳු හසරංග 30/2, කසුන් රාජිත 56/2)

කැන්ඩි ෆැල්කන්ස් – 147 (ඕවර 15.5) දිනේෂ් චන්දිමාල් 38, වනිඳු හසරංග 25, ඇන්ජලෝ මැතිව්ස් 25, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 24 (දුනිත් වෙල්ලාලගේ 20/4, ශදාබ් ඛාන් 22/4)

ගාලු ක්‍රීඩකයෝ අවසන් පන්දුවෙන් ජය ගනිති

මේ අතර ඊයේ (2) පස්වරුවේ පැවති තරගය අවසන් පන්දුවෙන් ජය ගැනීමට ගෝල් මාර්වල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා පිල කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ගෝල් ක්‍රීඩකයෝ අවසන් පන්දුවෙන් ජය තහවුරු කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

තරගයේ වීරයා වෙමින් ඇලෙක්ස් හේල්ස් පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 65ක් රැස් කරමින් ගෝල් ජය මාවත විවර කළ අතර, නායක නිරෝෂන් දික්වැල්ල සමඟ එක්ව පළමු කඩුල්ලට පන්දු 43කින් ලකුණු 66ක් එක් කිරීමට ද ඔහු සමත් විය. දික්වැල්ල හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 47ක් රැස් කළේ පන්දු 27ක් පමණක් වැය කරමිනි. ජනිත් ලියනගේ පන්දු 13කින් ලකුණු 25ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ෆේබියන් ඇලන් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 4කට දැවී ගිය අතර, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමඟ එක්වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 58කින් ලකුණු 81ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කළහ. ලකුණු 51ක් රැස් කළ පැතුම් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, අවිශ්කගේ ඉනිම ලකුණු 59කට සීමා විය. පන්දු 48කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහරක් එල්ල කළ අතර, වේගවත් පිතිහරඹයක නිරතවූ නිශ්ශංක හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් සිය ඉනිම වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 32කට පමණි. නායක චරිත් අසලංක පන්දු 15කින් වේගවත් ලකුණු 33ක් සහ ධනංජය ද සිල්වා පන්දු 8කින් ලකුණු 18ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී සහූර් ඛාන් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඉසුරු උදාන සමඟ පළමු වරට එල්පීඑල් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගාවලියේ තෙවැනි දිනය වන අද (3) දඹුල්ල – යාපනය පස්වරු 3.00ටත්, ගාල්ල – කොළඹ රාත්‍රි 7.30ටත් තරග වදින අතර, මේ සමඟ තරගාවලියේ මහනුවර අදියර නිමාවට පත් වෙයි.

ජැෆ්නා කිංග්ස් – 177/7 (ඕවර 20) අවිශ්ක ප්‍රනාන්දු 59, පැතුම් නිශ්ශංක 51, චරිත් අසලංක 33, ධනංජය ද සිල්වා 18 (සහූර් ඛාන් 34/3, ඩ්වේන් ප්‍රිටෝරියස් 23/2, ඉසුරු උදාන 60/2)

ගෝල් මාර්වල්ස් – 179/5 (ඕවර 20) ඇලෙක්ස් හේල්ස් 65, නිරෝෂන් දික්වැල්ල 47, ජනිත් ලියනගේ 25, භානුක රාජපක්ෂ 13 (ෆේබියන් ඇලන් 33/2, අසිත ප්‍රනාන්දු 40/2)

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?