Latestදේශීය

විෂ පානය කිරීමෙන් මියගිය ධීවරයින්ගේ සිරුරු තංගල්ල වරායට

ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මුහුදේ පාවූ විෂ සහිත ද්‍රාවණයක් අඩංගු බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මුහුද මැදදීම අසාධ්‍යව මියගිය ඩෙවෝන් 05 යාත්‍රාවේ තිබූ ධීවරයන් සිව් දෙනාගේ මළ සිරුරු දින 04කට පසු ඊයේ (03) තංගල්ල ධීවර වරායට රැගෙන ආ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

එක් සිරුරක් මෙයට පෙර නාවික හමුදාව විසින් සිංගප්පූරු නෞකාවෙන් භාරගෙන රැගෙන ආවේය.

ධීවර යාත්‍රාවේ ස්කිපර් ලෙස කටයුතු කළ 42 හැවිරිදි එම්.ජේ.නයනකාන්ත, 32 හැවිරිදි එම්.ටී.සුජිත්, 23 හැවිරිදි පී.ඩී. ජයසූරිය හා 34 හැවිරිදි ආර්.බී.ජී. ප්‍රදීප් නිශාන්ත යන ධීවරයින් සිව් දෙනාගේ සිරුරු ඊයේ දිනයේ තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබේ. මෙම ධීවරයින් සිව් දෙනාද තංගල්ල හා අවට පදිංචිකරුවන්ය. මෙම විෂ ද්‍රාවණය පානය කිරීමෙන් පසු ඩෙවෝන් 05 යාත්‍රාව තුළදීම ධීවරයින් සිව් දෙනෙකු මිය ගිය අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙකු සිංගප්පූරුවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බේරාගෙන තිබුණි. එම ධීවරයන් දෙදෙනාගෙන් එක් අයකු පැය කිහිපයකට පසු මියගොස් තිබුණි. තංගල්ල සඟබෝ මාවතේ පදිංචි 56 හැවිරිදි ජී.එම්. අජිත් කුමාර නමැති ධීවරයා එලෙස මියගියේය.

මියගිය ධීවරයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කෙරුණු අතර අසාධ්‍යව සිටි හම්බන්තොට උඩබැරගම පදිංචි 42 හැවිරිදි ටී.බී. සුමිත් කුමාර ධීවරයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ වන විට සුව අතට හැරී සිටියි.

ධීවරයින් සිව් දෙනාගේ සිරුරු ඩෙවෝන් 05 යාත්‍රාවේම තිබූ අතර එය රැගෙන ඒමට ගිය තවත් යාත්‍රාවක් ද කාර්මික දෝෂයකට ලක්ව තිබුණි. පසුව එම යාත්‍රා රැගෙන ඒම ඩෙවෝන් පුතා 01 හා ඩෙවෝන් පුතා 03 යාත්‍රා පිටත්ව ගිය අතර කාර්මික දෝෂයට ලක් වූ යාත්‍රාව හා ඩෙවොන් 05 යාත්‍රාවද සමඟ මියගිය ධීවරයන්ගේ සිරුරු දින 04කට පසු තංගල්ල ධීවර වරායට රැගෙන ඒම සිදු කෙරුණි. මියගිය ධීවරයන් සිව් දෙනාගේ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන ආ මොහොත ඉතා සංවේදී අවස්ථාවක් වූ අතර එහි දිස් වූයේ එකම මළගමක විලාසයකි. ගොඩබිමට ගෙනා සිරුරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණි.

සිංගප්පූරු නෞකාවක සහාය ඇතිව මීට පෙර හම්බන්තොට වරායට රැගෙන එමින් සිටියදී මියගිය ධීවරයාගේ සිරුරේ කොටස්, ආමාශයේ දියර හා ලේ සාම්පල ලබාගත් අතර ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් හම්බන්තොට වරාය පොලිසියට දන්වා තිබේ. එතෙක් මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී එම සිරුර ඥාතින්ට භාර දීමට කටයුතු කර තිබේ.

මීට අමතරව මේ වන විට රෝහ‍ෙල් ‍ෛවද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින දිවි ගලවාගත් ධීවරයාගේ මුත්‍රා සාම්පල් හා රුධිර සාම්පල් ලබා ගෙන ඒවාද රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වරාය පොලිසියට දන්වා තිබෙන අතර තංගල්ල මූලස්ථාන පොලිසිය, නාවික හමුදාව හා ධීවර කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම සිරුරු ගොඩබිමට රැගෙන ඒම සිදු කර තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?