Latestදේශීය

67 මහලෙන් වැටී මියගිය සිසුවාගේ සහ සිසුවියගේ මරණය අභිරහසක්

(ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත, බණ්ඩාරගම බිමල් ජයසිංහ)

කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 15 හැවිරිදි සිසුවා සහ සිසුවිය කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට වැටී මිය යෑමට පෙර එම ගොඩනැඟිල්ලෙහි පස් වැනි මහලේ ඇති කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් සිය පාසල් ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් ඇඳ ඉහළ මහලට ගොස් මෙම අනතුරට මුහුණදී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම සිසුවියත් සිසුවාත් පෙරේදා (02) ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම ගොඩනැඟිල්ල ඉදිරිපිට මාර්ගයේ අනෙක් පසින් බසින අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබී ඇත.

පාසල් නිල ඇඳුමින් සිටි සිසුවියගේ කරෙහි බෑගයක් එල්ලාගෙන සිටින අතර සිසුවාගේ කරෙහි බෑග් දෙකක් එල්ලෙමින් ඇති අයුරු‍ ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව තිබී ඇත.

පාසලේ 10 වැනි පන්තියේ ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනාගේ මවුපියන්ද එකිනෙකා දැන හඳුනන හිතවත් අය බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. සිසුවා වැල්ලවත්ත හාමස් ඇවිනියුහි පදිංචිව සිටි ඩිවෝන් ශූරෝ සිං බවත් සිසුවිය කැලණිය සපරමාදු පෙදෙසේ පදිංචි රෝස් මිරායි ද සේම් බවත් පොලිසිය කියයි.

මෙම සිසුවාත් සිසුවියත් ගොඩනැඟිල්ලට ඇතුළු වී සෝපානයේ නැඟී පස් වැනි මහලේ ඇති කායවර්ධන මධ්‍යස්ථානයට ගමන් කරනු ලබන්නේ එහි නිතර යන එන පුරුදුකාරයන් ලෙස බව ද ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමින් කළ විමර්ශනයේදී පොලිසියට පෙනී ගොස් ඇත. පස්වැනි මහලට ගොස් සිය පාසල් නිල ඇඳුම් ගලවා කළු පැහැයට හුරු ඇඳුම්වලින් සැරසුණු සිසුවාත් සිසුවියත් මහල් නිවාස සංකීර්ණයේ පහළට නැවතත් පැමිණ ඇත. අනතුරුව සිසුවා පමණක් පිටතට පිවිස නිවාස සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ අනෙක් පසට ගමන් කර යතුරුපැදිකරුවකුගෙන් යමක් රැගෙන නැවත නිවාස සංකීර්ණය තුළට ඇතුළු වී ඇත. ආරක්ෂක කැමරා පිරිස්සීමේදී පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ ඔවුන් දෙදෙනා නැවතත් සෝපානයට ගොඩවී 67 වැනි මහලට ගමන් කරන බවකි.

උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ යතුරුපැදිකරුගෙන් එම සිසුවා දුම්වැටි කිහිපයක් ලබාගෙන ඇති බව විමර්ශනයේදී පෙනී ගිය බවය. ඒ ගැන වැඩිදුරටත් විමර්ශන පැවැත්වෙන බව ද එම නිලධාරියා පැවසීය.

67 වැනි මහලට ගමන් කළ සිසුවාත් සිසුවියත් එම මහලින් පිටතින් බැසීමට ඇති තරප්පු පෙළ වෙත ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ. එම ස්ථානය ආරක්ෂක කැමරාවලට ආරවරණය නොවන බව පෙනී ගොස් ඇත. සිසුවියත් සිසුවාත් බිමට වැටී ඇත්තේ එම ස්ථානයේ සිටියදීය. ඔවුන්ගේ සිරුරු වැටී ඇත්තේ නිවාස සංකීර්ණයේ තුන් වැනි මහලේ පිහිටි වායුසමන යන්ත්‍ර සවි කර ඇති කොටස වෙතය. 67 වැනි මහලින් ඔවුන් දෙදෙනා බිමට වැටී ඇත්තේ ද ආරක්ෂක යකඩ ආවරණය පවා කඩාගෙනය.

මෙම නිවාස සංකීර්ණය මහල් 70කින් සමන්විතය. සිසුවාත් සිසුවියත් බිමට වැටුණු ස්ථානය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් දෙදෙනා එම ස්ථානය ගැන ද හොඳ අවබෝධයක් ඇති අය බවය. ගොඩනැඟිල්ලට ආගන්තුක වන අයට එම ස්ථානයට ඇතුළු වීමට අවබෝධයක් නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

සිසුවාත් සිසුවියත් බිමට වැටුණු 67 වැනි මහලේ තිබී ඔවුන්ගේ සපත්තු සහ මුදල් පසුම්බි මෙන්ම ජංගම දුරකතන ද හමු වී ඇත. ඒවා තිබී හමුවූයේ තරප්පු පෙළේදී බව පොලිසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වූයේ සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාව ඇතිව නම් ඇඳුම් මාරු කරමින් නොසිට කෙලින්ම ඉහළ මහලට ගොස් සියදිවි හානි කර ගැනීමට ඉඩ තිබුණු බව විමර්ශනවලදී පොලිසියට පෙනී ගොස් ඇත. මෙම සිසුවාගේත් සිසුවියගේත් හැසිරීම ආරක්ෂක කැමරාවලින් නිරීක්ෂණය කිරීමේදී පවා සියදිවි හානි කර ගැනීමට තරම් මානසික තත්ත්වයක් ඉරියව්වලින් පෙනෙන්නේ ද නැති බව පොලිසිය කියයි.

ඇතැම් විට ඔවුන් දෙදෙනා ඉහළ මහලට ගිය පසු ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන හෝ වසක් විසක් සිරුරට එක් වීම හේතුවෙන් ඉහළ මහලින් බිමට වැටුණිදැයි සැකයක් ද මතු වී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂාවක් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කොළඹ පොලිස් මෝචරියේදී පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03) සිදුකර ඇති අතර සිසුවාගේත් සිසුවියගේත් මවුපියන්ගෙන් ද ප්‍රකාශ පොලිසිය ලබාගෙන තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?