දයාසිරි මහපාරේදී වැඩ බාරගනී
(ස්වර්ණා විජේකෝන්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යනුකූල මහ ලේකම් ලෙස කටයුතු කිරීමට අධිකරණය විසින් දී ඇති අවසරයට අනුව වැඩ භාර ගැනීමට පැමිණියද පක්ෂ කාර්යාලය ඉබියතුරු යොදා වසාදමා තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ කාර්යාලය ඉදිරිපිට මාර්ගයේදී වැඩ භාර ගැනීමට ඊයේ (5) සිදු විය.
අධිකරණ අවසරය රැගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස උත්සාහ කළත්, එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීහු ඊට ඉඩ නොදුන්හ. ඉන් පසුව දයාසිරි ජයසේකර මහතා අධිකරණ තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන දොරටුවෙහි අලවා, මාර්ගය ඉදිරිපිට සිට වැඩ භාර ගැනීම සිදු කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය අසල මෙන්ම ඩාලි පාර ආශ්‍රිතවද පොලිසිය, විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරන බළ ඇණිවලට අයත් විශාල පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණි. අධිකරණ නියෝගය පවා නොසලකා හරිමින් සිය වැඩ භාර ගැනීමට බාධා කරමින් කටයුතු කළ පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව දයාසිරි ජයසේකර මහතා මෙහිදී කියා සිටියේය.
@දිනමිණ